– දකුණේ සියලුම රෝහල්වල ඖෂධ මෙහි ගබඩා කරලා
– වගකිවයුත්තන් තවමත් නිසි පියවර ගෙන නැහැ
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කර්යාල සංකිර්ණය ගංවතුරින් යටවී යෑමේ බරපතළ අවදානමකට පත්ව ඇතැයි එහි වෛද්‍ය කාර්ය මණ්ඩලය පෙන්වා දෙයි.
දකුණු පළාතේ සියලුම රෝහල්වල ඖෂධ ගබඩා කර ඇත්තේ උනවටුණ පිහිටි මෙම ගොඩනැඟිලි සංකීර්ණයේය.
පසුගිය දිනවල පැවැති අධික වැස්ස නිසා ගොඩනැඟිලි සංකිර්ණයට ජලය ගලා ඒම නිසා මෙම තත්ත්වය උදා වී ඇතැයි වාර්තා වෙයි. පසුගිය දිනවල ඇද හැලුණු වැස්ස නිසා මෙම ගබඩාවේ බෙහෙත් වෙනත් ස්ථානවල ගබඩා කිරීමට සිදුව තිබේ.
මෙම ගබඩාව අසලින්ම ගලායන ඓතිහාසික ඕලන්ද ඇළ ගොඩ වී ඇහිරියෑම නිසා ජලය බැසයෑම නතර වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම අනතුරුදායක තත්ත්වය ගැන පසුගිය 31 වැනිදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි මහතා කරුණු ඉදිරිපත් කළ ද වගකිව යුතු කිසිදු නිලධාරියකු මෙම අනතුරුදායක තත්ත්වය ගැන අවධාරණය නොකිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් වී තිබේ.