මාම්පිටිය මිනීමැරුම් නඩුවේ සාක්කි පරස්පරවී පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත්වීම නිසා ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය විත්තිකරුවන් දෙදෙනාම නිදොස්කොට නිදහස් කළේය. මෙසේ නිදොස්කොට නිදහස්කරනු ලැබුවේ රණේපුර හේවගේ මංජුල හෙවත් සුදු අයියා සහ ප්රමුඛ ප්‍රභාත් සෙනවිරත්න යන විත්තිකරුවන් දෙදෙනෙකි.
ගාල්ල මාම්පිටියේදී 2007 සැප්තැම්බර් 16 වැනිදා වේවැල්වල හේවගේ නුවන් කුමාර නමැති 25 හැවිරිදි තරුණයාට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
නඩු විභාගයේදී මියගිය අයගේ පියා සාක්කි දෙමින් පවසා සිටියේ නිෙවසේ සිට මීටර් 250ක් දුරින් පුතා වැටී සිටියදී තමා පැමිණ උකුලේ තබාගත්විට දෙවන විත්තිකරු තමාට පිහියෙන් ඇන්නා යයි පුතා පැවසූ බවය.
මියගිය අයගේ මව සාක්කි දෙමින් පවසා සිටියේ පිහි ඇනුම්කා සිටි පුතා කිසිවක් කතා නොකළ බවයි. මෙහිදී විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ මවගේ සහ පියාගේ සාක්කිවල බරපතළ පරස්පරතා තිබෙන බවය.
පළමුවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ හේමන්ත විතාරණ මහතාද දෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ නන්දසිරි ගල්ඔළුව මහතාද පෙනී සිටියේය.