Home » හෙරොයින් ජාවාරමේ නිරත වූ බහුදින යාත්‍රා නියමුවා රඳවාගෙන ප්‍රශ්න කරයි

හෙරොයින් ජාවාරමේ නිරත වූ බහුදින යාත්‍රා නියමුවා රඳවාගෙන ප්‍රශ්න කරයි

චීවරධාරියා හා කත ඇතුළු තිදෙනා රිමාන්ඩ්

by mahesh
November 3, 2023 12:59 am 0 comment

ජයකාන්ත ලියනගේ බළපිටිය විශේෂ

බහුදින යාත්‍රාවක නියමුවා වශයෙන් කටයුතු කරමින් මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ නිරත විම හා ඊට අනුබල දීම යන චෝදනා යටතේ ගාල්ල ඕපාත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිවු (04) දෙනාගෙන් ප්‍රධාන සැකකරු 2023 නොවැම්බර් 08 දින දක්වා ඕපාත පොලිසිය භාරයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ගාල්ල උඩුගම මහේස්ත්‍රාත්තුමිය ඊයේ (02) රැඳවුම් නියෝග ලබා දුන්නාය. අනෙක් සැකකාර චීවරධාරියා හා කාන්තාව ඇතුළු තිදෙනා (03) 2023 නොවැම්බර් මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්තුමිය නියෝග කළාය.

මෙසේ රැඳවුම් නියෝග ලබාදෙන ලද්දේ නො. 45/10, සුභද්‍රාරාම පාර, බළපිටිය ලිපිනයේ පදිංචි කළුදුර චමින්ද තාබ්‍රේව් (43) නොහොත් බළපිටියේ බොබ්මාලි නමැති අයටය. රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නො. 337/5, කැන්දලියද්දපාළුව, ගණේමුල්ල ලිපිනයේ පදිංචි වෙන්ගප්පුලි විදානච්චිගේ සුජානි කුමාරි වික්‍රමරත්ත (37), නො. 99/1, ‘රංගිරි’, බුද්ධගයා, වීරපානේ ලිපිනයේ පදිංචි මහේන්ද්‍ර රණසිංහ සහ ශ්‍රී බෝධිරාජාරාමය, බතලහේනවත්ත, ගෝනවල, කැලණිය ලිපිනයේ පදිංචි වීරපානේ සීලසුමන (27) යන තිදෙනාය.

චීවරධාරියෙකු, කාන්තාවක් සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) ඇතුළු සිවු (04) දෙනෙකු පෙරේදා (01) සවස ගාල්ල, තවලම පිහිටි ඕපාත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පළමු සැකකරු සන්තකයේ තිබී රුපියල් හය ලක්ෂ දෙදහස් පන්සියයක් (6,02,500/-) ක් ද පොලිසියේ භාරයට ගෙන තිබේ. සැකකරු ඉන්දියාව හා පාකිස්තානය යන රටවලින් හෙරොයින් ගෙන්වීමේ නිරත වී තිබෙන බවද පොලිසිය කියයි. මුදල් නොමැතිව හෝ එම රටවලින් හෙරොයින් ගෙන්වීමට තරම් එම රටවල්වල හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ ප්‍රබල සම්බන්ධකම් සැකකරුට තිබී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සැකකාර චීවරධාරියාද හෙරොයින් ජාවාරමට සෘජුවම සම්බන්ධ බවට පොලිස් පරික්ෂණවලදී තහවුරු වී තිබේ. එම චීවරධාරියා හෙරොයින් ජාවාරම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇති බවද පොලිසිය කියයි. ඒ වෙනුවෙන් පසුගිය සතියේ පළමු සැකකරු චීවරධාරියාට රුපියල් ලක්ෂ 15ක් ද ලබා දී තිබෙන බව පොලිසිය කියයි. සැකකරුවන් මෙම චීවරධාරියාගේ ගිහිකල නිවසේ රැඳී සිට ඇත්තේ කුමන හේතුවක් නිසාද? යන්න සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු වී තිබේ. සැකකරුවන් විදේශගත වීම සඳහා හෝ හෙරොයින් ජාවාරම සඳහා මෙසේ රැඳී සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT