Sunday, May 11, 2025
Home » ඉඹුල්ගස්දෙණියේ රිය අනතුරකින් අයෙක් මරුට

ඉඹුල්ගස්දෙණියේ රිය අනතුරකින් අයෙක් මරුට

by mahesh
November 3, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ දේවාලේගම ඉඹුල්ගස්දෙණිය ඉන්ධන පිරවුම්පොළ ආසන්නයේ දී පෙරේදා (01) සවස රිය අනතුරකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි දේවාලේගම පොලිසිය පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ දේවාලේගම ඉඹුල්ගස්දෙණිය වට්ටාරම අංක ඒ 29/ඒ ලිපිනයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඉමියාගේ චමින්ද සුදර්ශන නමැති අවිවාහක පුද්ගලයෙකි.

මිය ගොස් ඇති පුද්ගලයා අවිවාහකව මව සමඟ බාල සහෝදරියගේ නිවසේ පදිංචිව සිට ඇති බවත් ප්‍රදේශයේ කුලී වැඩක් කර උපයා ගන්නා මුදලකින් ජීවත් වෙමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය. පෙරේදා (01) අලුයම කොත්තමල්ලි වතුර පානය කර නිවසින් පිට වී ඇති අතර සවස 5.30ට ඉඹුල්ගස්දෙණිය ඉන්ධන පිරවුම්පොළ ආසන්නයේ උඩුබැලි අතට පුද්ගලයෙක් වැටී සිටිය දී දේවාලේගම පොලිසියේ සංචාරය කරමින් සිටි උප පොලිස් පරීක්ෂක විජේසිංහ නිලධාරියා දැක ප්‍රදේශයේ ජනයා එක්ව දේවාලේගම පොලිසියේ ජීප් රථයෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. ඒ වන විටත් පුද්ගලයා මිය ගොස් සිටි බවත් පොලිසිය පැවසීය. පසුව පොලිසිය කරන ලද මූලික විමර්ශනයකට අනුව මරණකරු වට්ටාරම චමින්ද සුදර්ශන නමැත්තා බවට තහවුරු කරගෙන ඥාතීන්ට දන්වා තිබේ. වැටී සිටි පුද්ගලයා අනතුරකින් ද නොමැති නම් සාමාන්‍ය ලෙස මරණය සිදු වුවා ද යන්න පිළිබඳ පොලිසියට සැක පහළ වී තිබේ.

පසුව මරණකරු සම්බන්ධයෙන් දේවාලේගම පොලිසිය ඊයේ (02) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරිණ. කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමන්ත විජේරත්න කෑගල්ල මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක කිත්සිරි රණසිංහ මහත්වරුන්ට පශ්චාත් හා හදිසි මරණ පරීක්ෂණ පවත්වා දේහය බාල සහෝදරියට භාර දෙන ලෙසත් වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT