ඊයේ (02) පස්වරුවේ පාණදුර – රත්නපුර මාර්ගයේ දොඩම්පේ, තුන්හඳහේන ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවුණු අනතුරකින් ත්‍රිරෝද රථයේ රියැදුරු බරපතළ තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව රත්නපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් පැවසීය.
අනතුර වන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන් කර ඇත්තේ මරණයට පත්ව ඇති එහි රියැදුරු පමණක් බවද ඔහු රක්වාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට ඔහු ළඟ තිබූ ජාතික හැඳුනුම්පතින් තහවුරු වී ඇතත්, ඔහුගේ පවුලේ අය හෝ ඥාතීන් පිළිබඳව ඊයේ පස්වරු වන විටත් තොරතුරක් වාර්තා වී නොතිබිණි.
අනතුරට ලක් වූ බස් රථය රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේ පැවති ක්‍රීඩා තරගයකට සහභාගි වූ දරුවන් පිරිසක් ඇහැලියගොඩ ඇරෑපොළ දක්වා රැගෙන යමින් සිට ඇති අතර, මාර්ගය පැහැදිලිව පෙනෙන ස්ථානයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර, ත්‍රිරෝද රථය බස් රථයේ ඇමිණී අඩි 30කට ආසන්න දුරක් ඇදී ගොස් නතර වී තිබිණි.
රත්නපුර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සංජීව මහතාගේ උපදෙස් මත පො.සැ. 10083 ශ්‍රීලාල්, පො.සැ. 32297 ගාමිණී, පො.කො. 43544 බණ්ඩාර සහ පො.කො. 76796 අතුකෝරල යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.