Thursday, May 15, 2025
Home » පාසල් සිසුන් මත් රකු­සා­ගෙන් බේරා­ගන්න ශිෂ්‍ය­භ­ට­ය­න්ගෙන් බුද්ධි ඒක­ක­යක්

පාසල් සිසුන් මත් රකු­සා­ගෙන් බේරා­ගන්න ශිෂ්‍ය­භ­ට­ය­න්ගෙන් බුද්ධි ඒක­ක­යක්

by Gayan Abeykoon
November 4, 2023 1:14 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

 

 

 

 

 

 

 

 

 

 

 

සිසු දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්‍ෂා කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකාය උපයෝගි කරගෙන සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී පෙරේදා (2) පැවති ජාතික ශිෂ්‍යභට බළකායේ වාර්ෂික හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලිය – 2023හි විසිර යෑමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.-

ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා විසින් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාද මේ අවස්‍ථාවට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි විය. ජාතිය වෙනුවෙන් කරන ලද සේවය හා කැප කිරීම අගයනු වස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වසරේදී ජාතික ශිෂ්‍යභට බළකාය වෙත ජනාධිපති වර්ණ හා බලකා වර්ණ පිරිනැමීමෙන් පසු පවත්වනු ලැබූ පළමු පෙළපාළියද මෙය විය.

කොළඹ ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය මෙහිදී පිළිවෙළින් 2023 හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතා හිමි කරගත් අතර, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතින් ජයග්‍රාහකයන්ට පදක්කම් සහ සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.

පෙළපාළියෙන් අනතුරුව සභාව අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බලකාය නඟාසිටුවීම සඳහා ආරම්භ කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ ජාතික ශිෂ්‍යභට බළකායේ ඇති වැදගත්කම හඳුනාගෙන එය අධ්‍යාපන අමාත්‍යාංශයට ඒකාබද්ධ කිරීම පිළිබඳව අමාත්‍ය තෙන්නකෝන් මහතා මෙහිදී සිය විශේෂ කෘතඥතාව පළ කළේය.

මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක සහ සංවර්ධන), ගුවන් හමුදාපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයන්, රාජ්‍ය නිලධාරීන්, රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ පුහුණු කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, විදුහල්පතිවරුන්, ආරාධිතයන් සහ මවුපියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT