පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අදට (04) වසර 75ක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙතෙක් ලොව නිෂ්පාදිත කිසිම තාක්ෂණික මෙවලමකින් කළ නොහැකි, උපකරණ මඟින් හෝ මිනිස් දැනුමෙන් කරන සේවාවන්ට සම කළ නොහැකි, පුපුරන ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය සහ නීති විරෝධීන්ට එරෙහිව සිටින ලොව එකම ජීවී අභියෝගය පොලිස් නිල සුනඛ හසුරුවන්නා නිල සුනඛයා නම් වූ ඒකකය තුළින් ජන සමාජයට විශේෂඥ සහයක් අපි ලබා දෙන්නෙමු.
කොට්ඨාසයේ ඉතිහාසය හා විකාශය
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් රාජකාරි සඳහා නිල සුනඛන්ගේ සහය ලබා ගැනීමට නිල සුනඛ අංශයක් ආරම්භ කිරීමට වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ඕ. එන්. ඕ. ෂොක්මන් මහතා විසින් 1948 නොවැම්බර් 04 වැනිදා අදහසක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 1948 දෙසැම්බර් මස 01 වන දින කොළඹ ඇව්ලන් චතුරශ්‍රයේදී ආරම්භ කරන ලදී. එම නිල සුනඛ අංශයේ ප්‍රථම ස්ථානාධිපති වූයේ පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතාය.
නිල සුනඛ අංශයේ ප්‍රථම නිල සුනඛයින් දෙදෙනා
නිල සුනඛ අංශයේ රාජකාරී කටයුතු සඳහා කඩිනමින් සුනඛයින්ගේ අවශ්‍යතාවය පැන නැඟිනි. ඒ අනුව එංගලන්තයේ සිට පැමිණ කොළඹ ප්‍රදේශයේ සිටි විදේශිකයින් දෙදෙනෙකු සතුව සිටි සුනඛ පැටවුන් දෙදෙනෙකු මිලදී ගන්නා ලදී. ඒ අනුව මුල්ම සුනඛයින් දෙදෙනා වශයෙන් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ පිරිමි සතෙකු වූ රෙක්ස් නමැති සුනඛයා රු. 175/ කටද, ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ ගැහැනු සතෙකු වූ ෂීබා නමැති සුනඛ ධේනුව රු. 200/- කටද මිලදී ගෙන ඇත. මුල්ම සුනඛ හසුරුවන්නන් බඳවා ගැනීම
නිල සුනඛ හසුරුවන්නන් වශයෙන් පොලිස් නිලධාරීන් කීප දෙනෙකු තෝරා ගැනීමට පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතාට අවශ්‍ය විය. එවකට පොලිස් නිලධාරීන්ගේ මූලික පුහුණුවීම සිදු වූයේ කොළඹ ඇව්ලන් චතුරශ්‍රයේ පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයේදීය. මූලික පුහුණුවෙන් පසු ආධුනික නිලධාරීන් බම්බලපිටිය ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්ත කිරීම සිදු කෙරේ. ඒ අනුව 1948 ජුනි මාසයේ පුහුණුව නිම කළ පොලිස් කොස්තාපල් කණ්ඩායමක් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව සිටින ලදී. පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතා ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට ගොස් මෙම නිලධාරීන් හමුවී නිල සුනඛ හසුරුවන්නන් වශයෙන් පුහුණුවීමට කැමැති අය සිටීනම් ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කරන ලදී.
පොලිස් කොස්තාපල් බර්ට්‍රස්, පොලිස් කොස්තාපල් ආම්ස්ටෝන්, පොලිස් කොස්තාපල් දේවනායගම් යන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.
මීළඟ ප්‍රධාන කාර්ය වූයේ සුනඛයින් පුහුණු කිරීමට සුදුසු කාලගුණික තත්ත්වයක් ද ඔවුන් රඳවා තැබීමට සුදුසු ඉඩ කඩක් සහ පිරිසිදු වාතාශ්‍ර සහිත ප්‍රදේශයක් සොයා ගැනීමයි.
ප්‍රථම නිල සුනඛ කූඩු ඉදිකිරීම් හා නිල සුනඛයින්ගේ රාජකාරි විෂය පොලිස් නිල සුනඛ අංශය වෙත ප්‍රථමයෙන්ම ලබා ගන්නා නිල සුනඛ පැටවුන් දෙදෙනා රැක බලා ගැනීමට හා නඩත්තු කිරීමට අලුතින් තෝරා ගන්නා ලද සුනඛ හසුරුවන්නන් තිදෙනා වෙත භාරදෙන ලදී. එම සුනඛයින් දෙදෙනා සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතා විසින් එම පොලිස් ස්ථානයේම ඔහුගේ වියදමින් කුඩු 02ක් සකස් කරන ලදී. මෙම සුනඛ පැටවුන් දෙදෙනා හොඳින් වැඩීමෙන් පසු අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් කොස්තාපල් බර්ට්‍රස් සහ පොලිස් කොස්තාපල් ආම්ස්ටෝන් විසින් පුහුණු කිරීමෙන් පසු රාජකාරි කටයුතු සඳහා යොදවන ලදී. පොලිස් කොස්තාපල් දේවනායගම් නිල සුනඛ කටයුතුවලින් ඉවත් විය.
පොලිස් නිල සුනඛ අංශය මහනුවර ස්ථාපිත කිරීම
කොළඹ ඇව්ලන් චතුරශ්‍රයේ පිහිටා තිබූ නිල සුනඛ අංශය 1949 ජනවාරි මාසයේදී මහනුවර අස්ගිරියේ වර්තමාන පොලිස් නිල සුනඛ මූලස්ථානය පිහිටා ඇති භූමියේ ස්ථාපිත කෙරිණි. නිල සුනඛ හසුරුවන්නන් දෙදෙනා මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්තව නිල සුනඛ ඒකකයේ රාජකාරි සිදු කරන ලදී. නිල සුනඛ අංශය මහනුවර ස්ථාපිත කිරීමට පහත කරුණු සාධක විය.
නිල සුනඛ අංශය මහනුවර ස්ථාපිත කිරීමෙන් පසු සුනඛ හසුරුවන්නන් දෙදෙනා මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්ත කරන ලදී. නිල සුනඛයින් සඳහා වර්තමාන නිල සුනඛ කොට්ඨාසයට පිවිසෙන මාර්ගයේ ලීවලින් සෑදු කූඩු 05ක් ඉදි කොට ඇත.
මහනුවර ප්‍රථම නිල සුනඛ කූඩු ඉදි කිරීම
නිල සුනඛ අංශය මහනුවර අස්ගිරිය ස්ථාපිත කිරීමෙන් පසු ස්ථිර පළමු නිල සුනඛ කූඩුව වශයෙන් නිල සුනඛයින් 14ක් රඳවා තැබීමට වර්තමානයේ නෙලුම් කූඩු වශයෙන් හඳුන්වනු ලබන නිල සුනඛ කූඩු පද්ධතිය ඉදි වී ඇත. 1959 වර්ෂය වන විට මෙම ඒකකයේ සාමාජිකයින් 08ක් වූ අතර, ස්ථානාධිපතිවරයෙකුගේ අවශ්‍යතාවයක් පැන නැඟී ඇත. ඒ අනුව උප පොලිස් පරීක්ෂක වනිගනායක මහතා නිල සුනඛ ඒකකයට අනුයුක්ත කර එහි ස්ථානාධිපති වශයෙන් පත්කර ඇත. නිල සුනඛ අංශය මහනුවර ස්ථාපිත කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ රාජකාරි සම්බන්ධව වැඩි ඉල්ලුමක් පොලිස් ස්ථාන මඟින් සිදුව ඇත.
ප්‍රථම අපරාධ පරීක්ෂණ නිල සුනඛයාගේ රාජකාරි ඇගැයීම
අපරාධ පරීක්ෂණ නිල සුනඛ රෙක්ස් ඉතා හොඳින් අපරාධ පරීක්ෂණ විසඳීමට දායක වී ඇත. දින 15ක් ඇතුළත මිනී මැරුම් 03ක් ඇතුළුව බරපතළ අපරාධ 7ක් විසඳීමට දායක වී ඇත. එක් මිනී මැරුමක් කොළඹ ද ඊට දින 2කට පසුව තවත් මිනී මැරුමක් යාපනයේදී ද විසඳීමට දායක වී අපරාධකරුවන් අනාවරණය කර ගැනීමට සමත්ව ඇත. මෙම සුනඛයාගේ අසහය දායකත්වය වෙනුවෙන් ඔහු 1959 වසරේ සැරයන් තනතුරට උසස් කර ඇත. එය පොලිස් සුනඛයෙකු මේ තාක් ලබා ඇති ප්‍රසාද උසස්වීමයි.
අපරාධ පරීක්ෂණ රාජකාරි ව්‍යාප්ත වීම හා නව නිල සුනඛ ඒකක ස්ථාපිත කිරීම
1960 සිට 1970 දක්වා වූ දශකය තුළ නිල සුනඛ අංශවල විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇත. මධ්‍යම පළාත භාරව සිටි පොලිස් අධිකාරි රුද්‍රා රාජසිංහම් මහතා මේ සඳහා මහත් කැපවීමක් දරා ඇත. 1963 වර්ෂයේදී අලුතින් වාහන 2ක් ලබා දීම සිදු කර ඇත. අපරාධ පරීක්ෂණ රාජකාරි සඳහා නිල සුනඛයින්ගේ සහය ඉල්ලීම වැඩි වීමත් සමඟ 1954 වර්ෂයේදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී අපරාධ පරීක්ෂණ රාජකාරි සඳහා නිල සුනඛ ඒකකයක් පිහිටුවන ලදී. පළමු පිට ස්ථාන ඒකක වශයෙන් ආරම්භ වූ මෙම ඒකකය මඟින් ප්‍රධාන අරමුණ වී ඇත්තේ ආධුනික පොලිස් නිලධාරීන්ට නිල සුනඛ රාජකාරි පිළිබඳ දැනුමක් ලබා දීමයි. මෙහි ස්ථානාධිපති වශයෙන් පොලිස් කොස්තාපල් ජෝසප් පෙරේරා මහතා අනුයුක්ත කර ඇති අතර, ඔහු පසුව පොලිස් පරීක්ෂක ධුරය දක්වා උසස් වීම් ලබා විශ්‍රාම ගොස් ඇත. දිනෙන් දින අපරාධ පරීක්ෂණ රාජකාරි ඉටු කිරීම් සාර්ථක වර්ධනයක් පෙන්නුම් කළ හෙයින් නිට්ටඹුව, මිරිහාන, අම්බලන්ගොඩ, මාතර, බදුල්ල, රත්නපුර, කුලියාපිටිය, නුවරඑළිය, හලාවත, අම්පාර, අනුරාධපුරය, යාපනය සහ මොනරාගල පොලිස් ස්ථානවලද අපරාධ පරීක්ෂණ නිල සුනඛ ඒකක පිහිටුවන ලදී.
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ වර්තමාන කාර්ය භාරය
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අරමුණු කරා ළංවීමට යොදා ගන්නා ලද ප්‍රධාන මෙවලම් වන්නේ පුහුණු කරන ලද පොලිස් නිල සුනඛයා හා පොලිස් නිල සුනඛ හසුරවන්නායි.
මෙම ප්‍රධාන මෙවලම් දෙකින් පොලිස් නිල සුනඛයා අන් කිසිවකුටත් කළ නොහැකි ලොව කිසිම උපකරණයකට කළ නොහැකි කාර්යක් සිදු කරයි. මෙම කාර්ය පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙවර වන රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන කාර්යයට මහඟු දායකත්වයක් ලබා දෙන අතර එය ප්‍රධාන වශයෙන් පහත අයුරින් වේ.
01. අපරාධ විමර්ශනයට සහය ලබා දීම
02. නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය හෝ පුපුරන ද්‍රව්‍ය යොදා පිපිරීම් සිදු කරන මිනිසා විනාශ කිරීමට සූදානම් කර ඇති ප්‍රදේශ සහ ස්ථාන හඳුනා ගැනීම
03. ලොවටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම සඳහා එම නීති විරෝධී මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට එරෙහිව සිදු කරන රාජකාරි සහ මත්ද්‍රව්‍ය සඟවා ඇති ස්ථාන හඳුනා ගැනීම
04. මහජන සාමය කඩවන අයුරින් විශාල ජනකායක් රැස්වී ඇති ස්ථානවල මහජනයා සන්සුන් කිරීමට ප්‍රහාරක සුනඛයින් හා සංචාරක සුනඛයින් යොදවා රාජකාරි සිදු කිරීම.
05. වැළලුණු /සැඟවී ඇති මළ සිරුරු සොයාගැනීම.
පුපුරන ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරි
1980 වර්ෂයේදී සුනඛයින් යොදවා පුපුරන ද්‍රව්‍ය සෙවීම් පුහුණුව සිදු කරන ලද අතර, එවකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යව සිටි ටී. බී. වේරපිටිය මහතා මේ සඳහා වැඩි දායකත්වයක් ලබා දී ඇත. මත්ද්‍රව්‍ය නිල සුනඛයින් පුහුණුව ඔස්ට්‍රියාවේ සිට පැමිණි පුහුණු උපදේශකවරුන් මඟින් පුහුණුව ලබාදීම සිදු කර ඇත. 1984 වර්ෂයේ උතුරේ හා දකුණේ පැවති ත්‍රස්තවාදී අරගලවලදී ආරක්ෂක අංශ වෙත පුපුරන ද්‍රව්‍ය ප්‍රහාර එල්ලවීම හා ප්‍රභූ වරුන්ට එම තර්ජන ඇතිවීම නිසා පුපුරන ද්‍රව්‍ය සෙවීමේ සුනඛයින් පුහුණු කිරීමේ අවශ්‍යතාවය පැන නැඟිනි. ඒ අනුව පොලිස් අධිකාරි විජය සෙනවිරත්න මහතා සහ ප්‍ර.පො.ප. සිසිර වීරකෝන් මහතා අෙමරිකා එක්සත් ජනපදයට යවා පුහුණුවක් ද 2005 වර්ෂයේදී ප්‍ර.පො.ප. එල්.ඒ. සෙනවිරත්න මහතා ඉන්දියාවේ තකංපූර් හිදී පුහුණුවක් ද ලබා පසුව ඔවුන් ලබාගත් පුහුණුව මෙරටට පැමිණ අනිකුත් නිල සුනඛ හසුරුවන්නන් හට ලබාදීම සිදුකර ඇති අතර. 1984 වර්ෂයේදීම ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රථම පුපුරන ද්‍රව්‍ය පරීක්ෂණ නිල සුනඛ ඒකකය ස්ථාපිත විය.
මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරිය
1970 වර්ෂයේදී මත්ද්‍රව්‍ය සෝදිසිය සඳහා මහනුවර නිල සුනඛ අංශයේදී නිල සුනඛයින් 04 දෙනෙකු පුහුණු කිරීම ආරම්භ කර ඇත. 1971 වර්ෂයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ නිල සුනඛ ඒකකයක් ස්ථාපිත කර ඇත. 1984 වර්ෂයේදී ජර්මන් පොලිස් නිලධාරින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ පොලිස් නිල සුනඛයින් හසුරුවන්නන් සඳහා මත්ද්‍රව්‍ය සෝදිසි පිළිබඳව පාඨමාලාවක් පවත්වා ඇත.
තම රාජකාරි විෂයන්ටම පමණක් සීමා නොවී පොලිසිය හා මහජනයා අතර සම්බන්ධතාවය ඇති කිරීම සඳහා නිල සුනඛයින් විසින් සිදුකරන නිල සුනඛ සංදර්ශන රාජකාරි තුළින් ජන සමාජයට අවශ්‍ය විනෝදාශ්වාදය ලබාදීම පමණක් නොව වර්තමාන තරුණ පරපුර මත් උවදුරින් ගලවා ගැනීම සඳහා වන අධ්‍යාපනික දැනුම්වත් කිරීමේ සේවය ඉටු කරනු ලබයි. එසේ ඔවුන් තම අභිමානවත් 75 වසරක ගමන් මඟ සැමරීමේදි ශ්‍රී ලංකා පොලිසියේ විශේෂිත කොට්ඨාසයක් වූ පොලිස් නිල සුනඛ කොට්ඨාසය තම දැක්ම (vision) මඟින් එනම් සාමකාමී පරිසරයක් ගොඩනැංවීමට අසම සම සේවයක් තුළින් වර්තමානයේ මහජනතාවගේ ගෞරවනීය විශ්වාසය නිතැතින්ම දිනාගැනීමට හැකිවී ඇති බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ජාලාවන් සාක්ෂිදරනු ඇත.