මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරඳ ගසක් කපා වළ දමා තිබීම සම්බන්ධව බී වාර්තාවක් මඟින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව නීතිමය පියවර නොගන්නා බවට ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරි ඇම්.ඇම්. වරුණප්‍රිය මහතා ඊයේ (3) විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුව ගම්පහ අංක 2 මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය එම නඩුව අවසන් කිරීමට නියෝග කළාය.
එම පඬු කරඳ ගස හොර රහසේ මහ රෑ කපා වළ දමා ඇති බව කියමින් ගම්පහ දිසා වන කාර්යාලය මගින් මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් අංශයට එරෙහිව එම පැමිණිල්ල ගොනු කොට තිබිණි. මේ පැමිණිල්ලට අදාළව මහේස්ත්‍රාත්වරියගේ නියෝග පරිදි එහි වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මියගේ අධීක්ෂණය යටතේ එසේ වළ දමා තිබූ පඬු කරඳ ගස පසුගිය ජූනි 28 දා ගොඩ ගෙන ගම්පහ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් නැවත සිටුවනු ලැබීය. මෙයට අදාළ බී වාර්තාව ඊයේ (3) නැවත කැඳවූ අවස්ථාවේ ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරි ඇම්.ඇම්. වරුණප්‍රිය මහතා කරුණු දක්වමින් නඩුව ඉදිරියට පවත්වා ගෙන නොයන බවට ප්‍රකාශ කර එය ඉල්ලා අස් කරගන්නා බව කියා සිටියේය. මෙහිදී පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්දිනු ධීරසේකර මහතා කරුණු දක්වමින් “මහ පුදුම කතාවක් අද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරියට පැමිණ කියා කියා සිටිනවා. මෙය පැහැදිලිවම අපරාධයක්. දුප්පත් පුරවැසියෙක් වනාන්තරයක ඇත්තක් කැපුවත් මේ වන නිලධාරීන් එම පුද්ගලයා උස්සගෙන ඇවිත් නඩු දාන බවත් නමුත් මේ බරපතළ අපරාධයට අදාළ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නවා කියන්නේ දේශපාන බලපෑම මත” යැයි කීය.
නීතිඥ රොෂාන් කහටපිටිය මහතා: මේ සම්බන්ධව වනජීවී වෘක්ෂලතා ආඥා පනත යටතේ මේ අපරාධය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවට ද නඩු පැවරීමට පූර්ණ බලතල තිබෙනවා, අපි වනජීවී දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කෙරුවා. නමුත් කිසිම ප්‍රතිචාරයක් නෑ. එම නිලධාරීනුත් අද අධිකරණයට පැමිණ නැහැ.
නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය: මේ ගස නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් විශාල ලෙස ප්‍රමාද වී අති විශාල පාඩුවක් සිදු වී තිබෙනවා. මේ ඉන්ධන මිල අධික කාලයේ ඔය මාර්ගය තනා නිම කළා නම් ජනතාවට විශාල සහනයක් ලැබෙනවා.
නීතීඥ චිත්‍රා ජයවීර මහත්මිය: අපිද ඉන්ධන මිල වැඩි කෙරුවේ මේ දූෂිත පාලනය නේද අද ජනතාවට ජීවත්වෙන්න බැරි තත්වයට මේ රට පත් කළේ කව්ද?
නීතීඥ රොෂාන් කහටපිටිය මහතා: කැලෑ නීතිය රජ කරන නිසා කැලෑ දෙපාර්තමේන්තුවත් නඩුව ඉල්ලා අස් කරගත්තා නේද?
දෙපාර්ශ්වයේ කරණු දැන්වීම්වලින් අනතුරුව එසේ නඩු අවසන් කිරීමට නියෝග කෙරිණි.
පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝද විවෘත අධිකරණය ඉදිරියට පැමිණ සිටියහ.
පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් ලක්දිනු වීරසේකර, රොෂාන් කහටපිටිය, නාමල් බමුණුසිංහ ආරච්චි යන නීතිඥ මහත්වරුන් හා නීතිඥ චිත්‍රා ජයවීර මහත්මිය පෙනී සිටි අතර, වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.