Thursday, May 15, 2025
Home » බදු පරි­පා­ල­නය කාර්ය­ක්ෂම කළ යුතුයි

බදු පරි­පා­ල­නය කාර්ය­ක්ෂම කළ යුතුයි

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

by Gayan Abeykoon
November 4, 2023 1:14 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

වර්තමාන ආණ්ඩුව තෙවැනි වතාවටත් විදුලිය වැඩිකර මේ රටේ විදුලි පාරිභෝගිකයන් දස ලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩිකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය.

“ප්‍රතිගාමී බද්ධක් වන මෙය තමන්ගේ ආදායම කුමක් වුවත් හැමෝටම එක හා සමාන බද්දක් ලෙස ගෙවීමට සිදු වෙනවා. මේ සඳහා විකල්ප විමසා විවිධ පුද්ගලයන් විවේචන සිදු කරනවා. ඔවුන්ට අවශ්‍ය විකල්පය පැහැදිලි කිරීමට මම සූදානම්.

වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය නැත්නම් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතුයි. එය විනිවිදභාවයකින් ඩිජිටල්කරණයට ලක් කරනවාට සමහර පුද්ගලයන් විරුද්ධවී උද්ඝෝෂණ සිදු කරනවා. යම් හෙයකින් ඩිජිටල්කරණයක් සිදු කළොත් හොරකම අඩු වෙනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා (02) දඹදෙණිය, නුන්ගමුව දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමරයක් දීමේ අවස්ථාවට එක් වෙමිනි. මේ අනුව සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමර 41ක් දී තිබේ.

රජය බිලියන 100ක් බදු හරහා ගැනීමට අපේක්ෂා කළත් එය බිලියන 107ක් දක්වා මේ වන විට වැඩිවී තිබෙනවා. වසර අවසානයේ එය බිලියන 125ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. එය වැරදි බදු ප්‍රතිපත්තියක්. රජයට නිවැරදි බදු සූත්‍රය නිර්මාණය කර ගැනීමට නොහැකිවී තිබෙනවා. මේ අධික බදු බර නිසා බුද්ධි ගලනයක් සිදුව තිබෙනවා. මෙසේ බුද්ධි ගලනයක් සිදුවන විට ආර්ථික වර්ධනයක් සිදු වන්නේ නෑ. රජය සිදු කරන මේ ක්‍රියාවලිය හරහා සිදු වන්නේ ආර්ථීක සංකෝචනයක් වුවත් සිදුවිය යුත්තේ ආර්ථිකය වර්ධනය කිරීමක්.

එසේම රටට අවශ්‍ය අධ්‍යාපනයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, කෘෂිකර්මාන්තයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව නම් ඒ සඳහා අවශ්‍ය සම්පත්, ප්‍රතිපාදන, මිල මුදල් සොයා ගැනීමේ නිර්මාණශීලී හැකියාව සමඟි ජන බලවේගය සතුයි. එම නිසා රටේ ජනතාව බොරුවට සෝබනකාරී කටවචනයට පමණක් සීමා වූ දේශපාලන සංදර්ශනවලට සහ ඇන්දවීම්වලට තවදුරටත් ඇන්දවෙනවාද යන්න තීන්දු කළ යුතුයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT