Thursday, May 15, 2025
Home » වැටුප් වැඩි කරන තීර­ණය ගත් පසු විරෝ­ධතා කළා

වැටුප් වැඩි කරන තීර­ණය ගත් පසු විරෝ­ධතා කළා

ඇමැති මනූෂ නානා­ය­ක්කාර

by Gayan Abeykoon
November 4, 2023 1:15 am 0 comment

සුභාෂිණී සේනානායක

රජය විසින් රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ වැටුප් ඉදිරි අය-වැයෙන් වැඩි කිරීමට සූදානම් බවට දැනුම්වත් වීමෙන් පසු වෘත්තීය සමිති සහ අනෙකුත් දේශපාලන පක්ෂ සිය දේශපාලන වාසි තකා වැටුප් වැඩි කරන ලෙසට විරෝධතා කළ බවත්, වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වන තීරණය රජය විසින් ගත්තේ මීට මාස කිහිපයකට පෙර බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මෙරට අවිධිමත් සේවා අංශයේ නියුතු සියලුම වෘත්තිකයන්ගේ ශ්‍රමයේ ආරක්ෂාව සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ ‘ගරු සරු’ වැඩසටහනට පැමිණි අවස්ථාවේදීය.

මේ වැඩසටහනෙන් පෞද්ගලික බස් රථ රියැදුරු, බස් රථ සහායක, වෙනත් ප‍්‍රවාහන අංශ රියැදුරු, ඉදිකිරීම් කාර්මික, ඉදිකිරීම් සහායක, ගෘහ සේවක, රූපලාවණ්‍ය ශිල්පී, ස්වයං රැකියාවල නිරතවන්නන් ආදී සෑම රැකියාවකම ගෞරවය, ආරක්ෂාව සහ පිළිගැනීම ගොඩනැඟීම අපේක්ෂා කරයි. මේ සඳහා ආරම්භ කර ඇති සාකච්ඡා මාලාවට පුරවැසි ප‍්‍රජාවගේ, අවිධිමත් හා විධිමත් අංශවල රැකියාවල නියුතු වූවන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට ඕනෑම අයකුට අවස්ථාව හිමි වේ.

ඒ අනුව මේ වැඩසහටනේ ආරම්භය සනිටුහන් කරමින් අවිධිමත් සේවා අංශයේ නියුතු සියලුම වෘත්තිකයන්ගේ මහජන අදහස් විමසීමේ සැසිවාරයක් ද ඇමැතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

“අපි අමාත්‍යාංශයක් විදිහට මේ අවුරුදු එකහමාරට වැඩ ගොඩක් කළා. අපට ලබන අවුරුද්දේ මුල් භාගය වෙනකොට නව කම්කරු පනත ගෙන එන්න පුළුවන් වෙයි. මේ රටේ විදේශගත ශ්‍රමිකයන්ට රටට සල්ලි එවන්න එපා කියලා කියපු රට සම්පූර්ණයෙන්ම වැටිලා තියෙන අවස්ථාවක, රටට අවශ්‍ය තෙල් ටික, ගෑස් ටික ගේන්න හැකියාව ලැබුණා. ඒකට අපට විදේශගත ශ්‍රමිකයන් විශාල සහයක් දුන්නා. ඒ නිසාම ඔවුන් විශේෂයෙන්ම මතක් කළ යුතුයි.

අපි මේ අමාත්‍යාංශය භාරගත් දිනයේ සිට පසුගිය සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා දක්වා කාලයේදී විදේශගත ශ්‍රමිකයන් මේ රටට අමෙරිකානු ඩොලර් බිලියන 7.1ක් එවා තියෙනවා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි, අපේ රටේ සමස්ත ණය බර අමෙරිකානු ඩොලර් බිලියන 38යි. ඒ කියන්නේ අපට මේ කාලයේදී සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලැබී තියෙනවා.

මේ මුදල එවා තියෙන්නේ බිංදුවටම වැටිලා තිබ්බ රටකටයි. ඒක ඉතාම දැවැන්ත ප්‍රගතියක්. ඒ අයට ගරු කිරීමට අප පියවර ගත්තා. ඒ ඔස්සේ තමයි අපට මේ තත්ත්වයට එන්න හැකියාව ලැබුණේ. අපේ රටේ ශ්‍රමිකයන්ගේ ගැටලු රාශියක් අවසන් කරගනිමින් දවසින් දවස අපට ඉදිරියට එන්න හැකියාව ලැබුණා.

පහුගිය දවස්වල පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරනවා අපි දැක්කා. ඒත් ඒ අය උද්ඝෝෂණ කළේ අපි මාස තුනකට විතර කලින් රාජ්‍ය පුද්ගලික සහ වතු ක්ෂේත්‍රයේ සියලුම දෙනාගේ පඩි වැඩි කරන්න තීන්දුවක් ගත්තට පස්සේ. ඒ තීන්දුවේ අපේ කොටස විදිහට පුද්ගලික අංශයේ අවම මූලික වැටුප වැඩි කරන්න මූලික සාකච්ඡා පවත්වා කම්කරු උපදේශන සභාවේ එකඟතාව ගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. අපි මූලික වැටුප වැඩි කරන්න අවශ්‍ය පදනම දැමීම අවසන් කරලා තිබුණේ. මේ වෙලාවේ ජනාධිපතිවරයා අපට කිව්වා, අය-වැයෙන් මේ වැටුප් වැඩි කිරීම කරමු කියලා.

මේ අතරතුරේදී වතු ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලුවාම ඒ ගැන අපි සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා කිව්වා, එතුමා වතු සමාගම් එක්ක කතා කර ඒකට අවශ්‍ය දේවල් කරන්නම් කියලා. සමහර අයගේ නොදන්නාකමත්, අත්දැකීම් නොමැතිකමත්, ඡන්දය දිනන්න තිබූ අවශ්‍යතාවත් නිසා රටේ රාජ්‍ය ආදායමත් නැති කර දැම්මා. ඒත් වර්තමාන ජනාධිපතිවරයා යළිත් මේ බදු ආදායම ඉහළ දමා රාජ්‍ය ආදායම ඉහළ දමන්න කටයුතු කර තියෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT