Home » රාජ්‍ය සේව­ක­යාගේ වැටුප් වැඩි කරන්නේ ඊනියා වැඩ වර්ජන නිසා නොවේ

රාජ්‍ය සේව­ක­යාගේ වැටුප් වැඩි කරන්නේ ඊනියා වැඩ වර්ජන නිසා නොවේ

එජාප කඩු­වෙල ආසන සංවි­ධා­යක බිනර ජය­ව­ර්ධන

by Gayan Abeykoon
November 4, 2023 1:15 am 0 comment

ශිරෝමි අබයසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අය – වැයෙන් වැටුප් වැඩි කරන්නේ රාජ්‍ය සේවකයන්ගේ ආදායම් ඉහළ දැමීමේ අරමුණෙන් මිස දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති සිදු කරන ඊනියා වැඩ වර්ජන හෝ උද්ඝෝෂණ නිසා නොවන බව එක්සත් ජාතික පක්ෂ කඩුවෙල ආසන සංවිධායක බිනර ජයවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පසුගියදා (01) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“පාර්ලිමේන්තුවේ මැති සභා ප්‍රමිති අධිකාරියක් පිහිටුවීම ගැන සාකච්ඡාවක් මතු වෙලා තිබෙනවා. දූෂණ, වංචාවලට වැරදිකරුවන් වන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් සහ අනෙකුත් මහජන නියෝජිතයන් නෙරපීමට අවශ්‍ය කරන පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කර තිබෙනවා. එම අධිකාරියේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයෙක්‌ සභාපතිවරයා හැටියට පත් කිරීමටත්, එම මණ්ඩලය දේශපාලනඥයන්ගෙන් තොරව අර්ධ අධිකරණ බලයක් සහිත අධිකාරියකින් කටයුතු සිදු කිරීමටත් සැලසුම් කරනවා. පාර්ලිමේන්තු ක්‍රමය පටන් ගත් පසු එවැනි දෙයක් ස්ථාපිත වන ප්‍රථම අවස්ථාව මෙයයි. එම කෙටුම්පතට අවශ්‍ය කරන යෝජනා සියලුම පක්ෂවලිනුත්, කථානායකතුමන් සහ අගමැතිතුමාගේ පාර්ශ්වයෙනුත් අවශ්‍ය කරන යෝජනා ගැනීමට අපේක්ෂා කරනවා. විෂමාචාර සිදු කරන මන්ත්‍රීවරුන් ඉවත් කිරීම මේ අධිකාරියෙන් සිදු කරනවා.

මහජන නියෝජිතයන්ගේ වෘත්තිය නිවැරැදි ආකාරයට සිදු කර ගැනීමත්, වෘත්තිය ඉතාම පිරිසුදු දෙයක් බවට පත් කිරීමත් මේ අනුව සිද්ධ වෙනවා. එනිසා ඉදිරි අනාගතයේදී මේ රටේ ජනතාවගේ විශ්වාසය මහජන නියෝජිතයන් කෙරෙහි ඇති කිරීමට එය ප්‍රධාන ලෙස ඉවහල් වෙනවා. මහජන නියෝජිතයන් ගැන මහජන විශ්වාසය පළුදු වී ඇති මෙවන් අවස්ථාවක පාර්ලිමේන්තුවේ ගෞරවනීයභාවය රැක ගැනීමට මෙය වැදගත් වෙනවා.

සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි අය-වැය යෝජනාවලියේදී ගැනීමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ආර්ථික අතින් ඉතාම අසීරු අවස්ථාවක ඉන්න මොහොතක මේ වැටුප් ඉහළ දමන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ ආදායම් ඉහළ දැමීම වෙනුවෙන් වැටුප් වැඩි කිරීම සිදු කරනවා මිස දේශපාලන පක්ෂවල හෝ වෘත්තීය සමිති බොරුවට කරන ඊනියා වැඩ වර්ජන හෝ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් නොවන බව මතක් කළ යුතුයි. 2015 යහපාලන ආණ්ඩු සමයේදී එවකට රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමුවා. ඉන් පසුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප කිසිවකුත් වැඩි කළේ නෑ. පෞද්ගලික අංශයටත් මේ හා සමානව යම්කිසි වැඩි කිරීමක් සිදු කරන්න කියන ඉල්ලීම ජනාධිපතිවරයා සිදු කර තිබෙනවා.

පසුගිය දිනවල ගුරු වෘත්තියේ යෙදෙන ගුරුභවතුන් සහ වෘත්තීය සමිති එකතු වී වැඩ වර්ජන සහ උද්ඝෝෂණ සිදු කරනවා. එය ඔවුන්ගේ වෘත්තියට ගැළපෙන්නේ නෑ. අපේ මවුපියන් වගේම ශිෂ්‍යනුත් මේ දේ ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔවුන්ගේ චර්යාවන් මේ දරුවන්ගේ ආදර්ශවත් ජීවිතයකට වැදගත් වෙනවා. රටේ අනාගතයට අවශ්‍ය මිනිසා නිර්මාණය කිරීමට ගුරුවරුන්ගේ කැපවීම සහ ආදර්ශය වැදගත් වෙනවා. දරුවන්ට දෙන හැදියාව සහ විනය තමයි ඉදිරි අනාගතයේ මේ රටේ ආර්ථිකය, සමාජය තීරණය කරන්නේ කියන එක මතක් කළ යුතුයි. දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවලටත්, රාජ්‍ය නොවන සංවිධානවල මුදල්වලටත් යට වෙලා මෙවැනි උද්ඝෝෂණ සහ වැඩ වර්ජන සිදු කරන්න එපා කියා ඉල්ලා සිටිය යුතුයි.”

කෑගල්ල එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සංවිධායක රඛිත විමලරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT