Home » ජන­තාව වැඩි පිරි­සක් පක්ෂ දේශ­පා­ල­නය ප්‍රති­ක්ෂේප කර­නවා

ජන­තාව වැඩි පිරි­සක් පක්ෂ දේශ­පා­ල­නය ප්‍රති­ක්ෂේප කර­නවා

පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර

by Gayan Abeykoon
November 4, 2023 1:15 am 0 comment

ස්වර්ණා විජේකෝන්

රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරන බවත්, පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ කඩිනමින් එක්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ කොළඹදී පසුගියදා (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“පවතින විවිධ තත්ත්වයන් යටතේ ජනතාව දැඩි ලෙස පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා. රටේ ඉරණම පුද්ගල කේන්ද්‍රීයව තීරණය කිරීමට ඉඩ නොතැබිය යුතු බවට ජනතාව විශ්වාස කරනවා. එනිසා පක්ෂ දේශපාලනය වෙනුවට පොදු වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒකරාශි විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් මා ඉවත් කළත් මම තවමත් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ සිටින පිරිසට වඩා මම නිවැරදිව විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන ආකාරය දකින්න පුළුවන්.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා, විදුලි බිල මාස තුනෙන් තුනට සංශෝධනය කිරීමට පියවර ගන්නවා කියලා. එයින් සිදු වන්නේ විදුලිබිල වැඩි වීමක්ද, අඩු වීමක්ද යන්න නිවැරදිව සඳහන් කළේ නෑ. කොහොම වුණත් අද වන විට විදුලි බිල ජනතාවට දරාගන්න බැරි මට්ටමක පවතින්නේ. විදුලි ඒකක අනූවට වඩා අඩුවෙන් පරිහරණය කරන අයගේ විදුලි බිල විශාල ලෙස පසුගිය දිනවල වැඩි කළා. රුපියල් හතළිස් දහසක වැටුපක් ලබන සේවකයකුට විදුලි බිල ගෙවා ගන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. රාජ්‍ය සේවකයන්, සාමාන්‍ය ජනතාව මේ තත්ත්වය යටතේ දැඩි ලෙස පීඩනයට පත් වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතුයි.

විදුලි බිල මේ ආකාරයට නැවත නැවත වැඩි කිරීමෙන් සාමාන්‍ය ජනතාව වගේම කර්මාන්තකරුවන් ද දැඩි අපහසුවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම අයිස්ක්‍රීම් කර්මාන්තයත් මේ නිසා අනතුරට පත්ව තිබෙනවා. ගම්වල ජීවත් වන ජනතාව විදුලිය පාවිච්චි කළේ තමන්ගේ දෛනික අවශ්‍යතා වෙනුවෙන් හරිම පරිස්සමෙන්. ඒත් අද වන විට පවතින තත්ත්වය යටතේ දරුවන්ට පාඩම් කරන්නවත් විදුලිය පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. ඒ නිසා තවදුරටත් ජනතාව දිගින් දිගටම මේ පීඩා විඳීමට කැමති නෑ. කොයි වෙලාවක හෝ පුපුරා යනවා. එවන් අවස්ථාවක ජනතාව පාරට බහින එක නතර කරන්න බෑ. ඒ නිසා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතුයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT