Thursday, May 15, 2025
Home » වගා හානි සිදුවූ ගොවීන්ට වගා කටයුතු සඳහා නොමිලේ ඩීසල්

වගා හානි සිදුවූ ගොවීන්ට වගා කටයුතු සඳහා නොමිලේ ඩීසල්

by chanaka
November 7, 2023 10:59 am 0 comment

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් ලබා දීමට ඊයේ (07) කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

මෙම සහනය සලසනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙන වන්දි මුදලට අමතරවය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) වගා හානි සිදුවූ ගොවින්ට ලබා දිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විනි. ඊට කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.

පසුගිය මහ කන්නයේ දී චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.5ක් ලබා දෙන ලදී. කුඩා ප්‍රමාණයේ කුඹුරු වගා කරන ගොවීන් විශාල පිරිසක් තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට නොපැමිණීම නිසා ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිව තිබිනි.

එමනිසා මෙම ඉන්ධන තොගය මෙවර මහ කන්නයේ දී වගා කටයුතු සිදු කිරීමට නොහැකිව සිටින යල කන්නයේ දී වගා හානි සිදුවූ ගොවි ජනතාවට ලබා දීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය.

ඒ අනුව එක් ගොවියෙකුට ලීටර් 40ක ප්‍රමාණයක් බැගින් මෙම ඉන්ධන ප්‍රමාණය වගා හානි සිදුවූ සියලු ගොවීන් අතර වහාම බෙදා හැරීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ අදාල සියලු නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඉදිරි දින දෙක තුළ මෙම ඩීසල් ‌ තොගය වගා හානි සිදුවූ සියලු ගොවීන්ට බෙදාහැරිමට නියමිතය.

මෙහිදී උඩවලව ජලාශය සිඳී යාම නිසා වගා පාළු වු වළව කලාපයේ ගොවීන්ට ප්‍රමුඛත්වය ලබා දීමට ද තීරණය කළේය. නිසි අවස්ථාවේ දී සමනලවැවෙන් ජලය උඩවළවේ ජලාශයට ජලය ලබා නොදීම නිසා බොහෝ කුඹුරු විනාශ විය. එමනිසා වළව කළාපයේ ගොවීන්ට සිදු වූ හානිය Man Made Disaster එකක් ලෙස සළකා ඔවුන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයැයි ද අමාත්‍යවරයා කීය.

අද වනවිට වළව කලාපයේ වගාහානි සිදුවූ ගොවින්ට කැද උගුරක්වත් බීමට වත්කමක් නැහැ. මේ ගොවියෝ තමයි රටටම බිත්තර වී නිෂ්පාදනය කලේ මේ ගොවියන් ය. ඒ නිසා එම ගොවීන් සියලු දෙනා රැකබලාගැනීම රජයේ වගකීමක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT