Home » ඇහැළේපොළ අධිකාරම්ගේ ඇඳුම් ආයිත්තම් සුරකින මන්දණ්ඩාවෙල ශ්‍රී විජයසුන්දරාරාමය

ඇහැළේපොළ අධිකාරම්ගේ ඇඳුම් ආයිත්තම් සුරකින මන්දණ්ඩාවෙල ශ්‍රී විජයසුන්දරාරාමය

by sachintha
November 7, 2023 12:45 am 0 comment

ශ්‍රී ලාංකේය ඓතිහාසික සන්දර්භයේ ඇහැළේපොළ අධිකාරම් වූ කලී සුවිශේෂී පුද්ගල පෞරුෂයකි. වඩුග පාලනයෙන් මෙරට මුදා ගැනීමේ අරමුණින් කටයුතු කළ දේශප්‍රේමියකු ලෙස ඇතැමෙක් ඔහුව අර්ථකථනය කරද්දී තවකෙකු දේශද්‍රෝහී දෘෂ්ටිකෝණයක් ඔහු වෙත එල්ල කරනු වර්තමාන ඉතිහාස කතිකාවතෙහි දක්නට ලැබෙන්නා වූ කරුණකි. ඒ මන්දයත් උඩරට රාජධානිය ද ඇතුළුව සමස්ත දිවයිනේම බ්‍රිතාන්‍ය කිරීටයට එසේත් නැත්නම් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු වීමේ සංසිද්ධියෙහිලා ඇහැළේපොළ අධිකාරම් සුවිශේෂී භූමිකාවක් ඉටුකරන ලද්දේ යැයි හුවා දක්වමිනි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි.ව. 1798 – 1815) දවස පිළිමතලව්වේ මහ අධිකාරම්ගෙන් ඌන වූ මහ අධිකාරම් තනතුරට පත්වන ලද්දේ අප කතානායක ඇහැළේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේය. මහාධිකාරම් තනතුර හෙබවීමට මත්තෙන් ඇහැළේපොළ විසින් ප්‍රාදේශීය පාලන කටයුතු සහ උඩරට රාජ්‍ය සභාවට සම්බන්ධ නිලතල රැසක් දැරූ බවට සාක්ෂි හමුවේ. ඒ අතර

පණිවුඩකරන නිලමේ, ඌවේ දිසාව, සත් කෝරළේ දිසාව, මඩුවේ ලේකම්, නාථ දේවාලය සහ මහා දේවාලයේ බස්නායක නිලමේ මෙන්ම දෙවන අධිකාරම් ධුරය ද වේ. මෙකී නිලතල ලැබීම උදෙසා ඔහු නියෝජනය කළ වලව් පෙළපත නිසැක වශයෙන්ම බලපාන්නට ඇත.

මෙපරිද්දෙන් ප්‍රාදේශීය පරිපාලන කටයුතුවල නිරතවීමේ දී ඔහු විසින් සිය උපන් ග්‍රාමය වූ ඇහැළේපොළ ග්‍රාමයේ සිට කන්ද උඩරට සමඟ නිරන්තරයෙන් සබඳතා පැවැත්වීමට කටයුතු කර ඇත.

එලෙස යාම් ඊම් සිදු කිරීමේදී මාතලේ සහ උඩරට රාජ්‍යය එකිනෙකට යා කරන මාර්ගය නිර්මාණය වී තිබී ඇත්තේ ‘මන්දණ්ඩාවෙල’ නම් ග්‍රාමයේ පැවති බෝධියක් අසලිනි. සිය රාජකාරි කටයුතු උදෙසා නිරතුරුව මේ මාර්ගය භාවිත කළ ඇහැළේපොළ මේ බෝධිය අසල මඳක් නැවතී සිට නමස්කාර කිරීමේ සිරිතක් පැවතී ඇත. ඒ අනුව ඇහැළේපොළ ග්‍රාමයේ සිට රජවාසලට යන අතරමඟ පිහිටි මේ ස්ථානයේ විහාරයක් කරවීමට සිතූ ඇහැළේපොළ නිලමේ ක්‍රි.ව. 1793 දී “ශ්‍රී මහා විජයසුන්දරාරාමය” නමින් ඉහත කී බෝධීන් වහන්සේ පිහිටි භූමියේ විහාරයක් ඉදි කරන ලදි. මේ විහාරය ඉදිකිරීම සම්බන්ධව තොරතුරු ලන්ඩන්හි ජාතික කෞතුකාගාරයේ දක්නට ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් ද පෙන්වා දෙයි.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ අවධියේ පටන් මෙකී මාතලේ ප්‍රදේශය ආශ්‍රිතව භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළ බවට සැලකෙන නමුත් ඉන් අනතුරුව එළැඹි විවිධ වියවුල්කාරී තත්ත්වයන් හමුවේ මේ ප්‍රදේශය ආශ්‍රිතව අඛණ්ඩව භික්ෂූන් වාසය කළේද යන්න ප්‍රශ්නාර්ථයකි. නමුත් මහනුවර රාජධානි සමයේ දී ඇහැළේපොළ අධිකාරම් විසින් මේ බෝධීන් වහන්සේ සමීපයේ ප්‍රතිමා ගෘහයක් කර සිය පෙළපත් නාමය වූ ‘විජේසුන්දර’ යන්න යොදා විජේසුන්දරාරාමය වශයෙන්ම විහාරය හැඳින්වීමට කටයුතු කොට ඇත. පසුකාලීනව ඇහැළේපොළ විසින් ඇහැළේපොළ ග්‍රාමයේ ද ‘ඇහැළේපොළ විජේසුන්දරාරාමය’ නමින් මන්දණ්ඩාවෙල ශ්‍රී විජයසුන්දරාරාමයට අනුබද්ධ තවත් විහාරයක් ඉදි කර තිබෙනු දක්නට ලැබේ.

ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි දුන් ප්‍රතිඥාව 1847 වර්ෂයේ මෙරට ආණ්ඩුකාර ධුරයට පත් නවවැන්නා වූ ටොරින්ටන් සාමි විසින් පැනවූ අසාධාරණ බදු ප්‍රතිපත්තියත්, 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙරට සමාජය සහ පරිපාලන ක්ෂේත්‍රයන්හි සිදු වූ වෙනස්කම් ද හේතු කොටගෙන ස්වදේශීයන් විසින් සිය දෙවැනි නිදහස් සටන මාතලේ කේන්ද්‍ර කරගෙන ආරම්භ කරන ලදි. මේ නිදහස් සටනට නායකත්වය ලබා දුන් ගොංගාලේ ගොඩබණ්ඩා හෙවත් පෑලියගොඩ ඩේවිඩ් 1848 ජූලි මස 20 වන දින දඹුල්ලේ දී ‘ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි’ නමින් අභිෂේක ලබන ලදි. එලෙස අභිෂේක ලද හෙතෙම සටනට පළමුව මෙම විහාරස්ථානයේ බෝධිය අබියසට පැමිණ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මෙරට නිදහස් කරගන්නා බවට දිවුරුම් ප්‍රකාශයක් සිදු කළ බවට ජනප්‍රවාදයේ සැලකේ.

විහාර අංග සහ ඒවායේ සුවිශේෂීතා

මේ විහාරය ඉතා රමණීය වූ සුවිශේෂ නිර්මාණයක් බැව් පෙනේ. ගෙඩිගේ සම්ප්‍රදාය අනුව යමින් ඉදි කර ඇති මේ ප්‍රතිමා ගෘහය මත කුඩා චෛත්‍යක් ඉදි කර තිබෙනු දැකගත හැකිය. මේ ප්‍රතිමා ගෘහය හුනු බදාම භාවිත කරමින් ගල් සහ ගඩොල් යන මාධ්‍ය ද්විත්වයම අනුසාරයෙන් නිර්මාණය කර තිබේ.

සිවු කොනින් ඉහළට එසවුණු කණු ආධාරයෙන් ඒ මත ඉහළින් වූ චෛත්‍ය නිර්මාණය කර ඇති අතර, පසුකාලීනව එකී කණු එකිනෙක යා කරමින් බිත්ති බැඳි බවක් නිරීක්ෂණය කළ හැකිය. ප්‍රතිමා ගෘහයේ ද්වාරය අභිමුඛ දර්ශනීය මකර තොරණක් දක්නට ලැබෙන අතර, එය පැහැදිලි ලෙස මහනුවර සම්ප්‍රදායේ ශිල්පීය අංග ලක්ෂණ විද්‍යමාන කරයි. ප්‍රතිමා ගෘහය අභ්‍යන්තරයේ සතර දිසාවට නිර්මිත බුද්ධ ප්‍රතිමා සතරක් දක්නට වන අතර, ඒවා සතර බුදුවරුන් නිරූපණය කරතැයි’ සිතිය හැකිය.

කටකලියා යෙදූ සිංහ රූ

මෙහි කැටයම් අතර, මකර තොරණට ඉහළින් කටකලියාවන් යෙදූ සිංහ රූප සතරක් දක්නට ලැබීම සුවිශේෂී ලක්ෂණයකි. බොහෝ අවස්ථාවල සිංහල ජනයා සහ එඩිතර බව නිරූපණය කරනු පිණිස ශිල්පීන් විසින් සිංහ රුව යොදාගෙන ඇති බව දක්නට ලැබෙයි. නමුත් මෙහි නිරූපිත සිංහ රූප වෙත කටකලියා යෙදුවේ මන්දැයි විමසා බැලීම වැදගත්ය. ඒ පිළිබඳ විමසීමේ දී මෙලෙස සිංහ රූ කැටයම් කිරීමට හේතු වන්න ඇත්තේ සමකාලීන අවධියේ බ්‍රිතාන්‍ය පාලනයෙන් මෙරට වැසියන් මුහුණ දුන් පීඩාකාරී පසුබිම නිරූපණය කිරීමට හෝ සිංහලයා බ්‍රිතාන්‍යයන් යටතේ පාලිත බව දැක්වීමට යොදාගන්නට ඇති බව සිතිය හැකිය.

සිතුවම්හි ස්වරූපය

පිළිමගෙහි ඇතුළත බිත්තිවල දස පාරමිතා සහ විවිධ ජාතක කතා ඇතුළත් සිතුවම් දක්නට ලැබෙන අතර, වරින් වර සිදු වූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ සිතුවම්වලට විවිධ හානිකර බලපෑම් ඇතිවී තිබේ. . 1924 දී අවසන් වරට ප්‍රතිසංස්කරණය කළ බවට සැලකෙන මේ විහාරයේ

පැරණි සිතුවම් එසේම තිබියදී ඊට ඉහළින් වෙනත් සිතුවම් චිත්‍රණය කළ බවක් පැහැදිලිය. එමෙන්ම මේ විහාර සිතුවම්වල දක්නට ලැබෙන සුවිශේෂීත්වයක් වන්නේ ඇතැම් සිතුවම් අසලින් තුවක්කු රැගත් බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ රූ සිත්තම් කර තිබීමයි. එහිදී ඔවුන්ව සෙසු මනුෂ්‍ය රූවලට වඩා වඩාත් පැහැපත් බවින් නිරූපණය කිරීමට ශිල්පියා වෙහෙස වී ඇති බවක් දක්නට ලැබෙයි. බෞද්ධ සාහිත්‍ය හා සබැඳි සිදුවීම් දැක්වීමේදී වුවද සමකාලීන සමාජ වටපිටාව ශිල්පියා කෙරෙහි බලපෑ ආකාරය මින් පැහැදිලි වේ. මෙය දඹුලු විහාරයේ මාර පරාජය සිතුවම් සිහිපත් කරවයි.

ඇහැළේපොළ අධිකාරම්ට අයත් වස්ත්‍ර සහ ආභරණ මංජුසාව

වත්මන් විහාරාධිකාරීත්වය දරන නාරංගමුවේ චන්ද්‍රජෝති හිමියන් සමඟ කළ සාකච්ඡාවේ දී උන්වහන්සේ විසින් සුවිශේෂී භාණ්ඩ කීපයක් අප හමුවේ තැබුවේය. ඒවා නම් මේ විහාරයේ සුරක්ෂිතව තබා ඇති ඇහැළේපොළ අධිකාරම් භාවිත කළ බවට සැලකෙන නිලමේවරු අඳින හැට්ටයක්, දෝතියක් මෙන්ම ආභරණ පෙට්ටියක්ය. එම හැට්ට සුදු පැහැයක් ගන්නා අතර, දෝතිය තද රතු පැහැයක් ගනී. ඒවා රත්රන් සහ රිදියෙන් තැනූ නූලකින් මසා තිබෙයි. ආභරණ පෙට්ටිය කුඩා වේවැල් විශේෂයක් ආධාරයෙන් නිර්මාණය කර ඇති අතර, එය වැසීමට භාවිත කරන පියන රිදියෙන් වැඩ දැමූ අඟුලකින් සමන්විතය.

සඟ පරපුර

1864 දී අඹගස්වත්තේ ඉන්ද්‍රසාර හිමිගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද රාමඤ්ඤ නිකායට අයත් ශාසන වංශයේ හිමිවරු කීපනමක් කලින් කලට මේ විහාරයේ වැඩ වාසය කර ඇත. පසු කාලවලදී පැවති දුෂ්කරතා හමුවේ මේ විහාරය අතහැර දැමූ බව සැලකේ. නමුත් 1902 වර්ෂයේදී සෝභිත නම් හිමිනමක් විසින්මේ විහාරස්ථානය නැවත පිළිසකර කර 1912 වර්ෂය දක්වා වැඩ වාසය කළ බවට පිළිගැනේ. අනතුරුව 1912 සිට 1920 දක්වා ඇහැළේපොළ පරමජිනෝරස හිමි ද 1920 සිට 1983 දක්වා ලෙනදොර පුඤ්ඤානන්ද හිමි ද 1983 සිට 2000 දක්වා මාතලේ පල්ලෙපොළ අතුලඤාණ හිමි ද 2008 සිට වත්මන් විහාරාධිපති ලෙස නාරංගමුවේ චන්ද්‍රජෝති හිමි ද වැඩ වාසය කරනු ලබති.

මාතලේ නගරය පසුකර අනුරාධපුර දෙසට 2.5km ක් පමණ ප්‍රධාන මාර්ගය ඔස්සේ ඉදිරියට පැමිණෙන විට ප්‍රධාන මාර්ගයට 100m නුදුරින් මාර්ගයේ දකුණු පසට වන්න දක්නට ලැබෙන මේ විහාරස්ථානය මෙරට සුවිශේෂී විහාර කර්මාන්තය හඳුන්වා දිය හැකිය. එමෙන්ම විහාරාධිපති හිමියන් දක්වන අන්දමට ඉහත කී වස්ත්‍රාභරණ සහ ආභරණ මංජුසාව කාලාන්තරයක පටන් විහාරවාසී භික්ෂුන් විසින් ආරක්ෂා කරගෙන ඇත. උන්වහන්සේ දක්වන මේ ද්‍රව්‍ය පිළිබඳ කරුණු පුරාවිද්‍යා නිර්මාපකයන් ඔස්සේ තහවුරු කළ හැකි සත්‍ය කරුණු වේද එසේ වුවහොත් ඇහැළේපොළ අධිකාරම් හා බැඳි තවත් වටිනා තොරතුරු සහ සිහිවටන සමාජයට සහ පර්යේෂණ ක්ෂේත්‍රයට විවර වෙයි. නමුත් කනගාටුවට කරුණ විහාරස්ථානය සම්බන්ධව සැලකිය යුතු අන්දමේ අවධානයක් මෙතෙක් කිසිදු බලධාරියකු විසින් යොමු කර නොතිබීමයි. එසේ වන්නේ නම් ඒ පිළිබඳ දැනුම අනාගත පරම්පරාවට පිටිවහලක් වනු නොඅනුමානය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT