අනාවැකි පළකොට ස්වාභාවික ආපදා අවම කිරීමට කටයුතු කිරීම අපේ අරමුණයි
ඕ-ලෙවල් සමත් අයට කාලගුණ අනාවැකි පළ කරන්න බෑ
අතීතයට වඩා වර්තමානයේ කාලගු ණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙරට ඇවිත්
මේ දිනවල කාලගුණය ගැන ජනතාව අන් කවරදාටත් වඩා කතාබහ කරති. ඒ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන නිසාවෙනි. විශේෂයෙන් සවස් කාලයේ පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගාවල ජල මට්ටම ඉහළ යාම, කණ්ඩි කඩා වැටීම, විටින් විට ඇතිවන ගංවතුර තත්ත්වයන්, මාර්ගය යටවීම් නිසා විවිධ ප්‍රදේශවල ජනතාව පීඩනයට ලක්වේ. ඒ නිසා මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කාලගුණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන්නේ කෙසේ ද? එහි ක්‍රියාකාරිත්වය සිදු වන්නේ කෙසේ ද ආදී කරුණු කාරණා පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙ මෙරට ඉතා පැරණි ආයතනයක් නේද?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙරට පවතින ඉතාම පැරණි ආයතනයක්. 1867 මෙය ආරම්භ කර තිබෙනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේ මුලින්ම මෙම ආයතනය පැවතියා. වර්ෂාපතන මැනීම තමයි මෙම ආයතනය මුලින්ම කර තිබෙන්නෙ. 1948 ඔක්තෝබර් 01 දින මෙය ස්වාධීන ආයතනයක් බවට පරිවර්තනය වුණා. ඉන් පසුව මෙය ටිකෙන් ටික වර්ධනය වීමක් සිදු වුණා. පසුගිය දිනක එනම්, පසුගිය ඔක්තෝබර් 04 දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හත්තෑපස්වැනි සැමරුම සිදු කළා.
මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව කතා කළොත්?
කාලගුණය හා දේශගුණය පිළිබඳව අනාවැකි පළකිරීමෙන් ස්වාභාවික ආපදා අවම කරගෙන හානි අවම කිරීම මෙම ආයතනයේ මූලික අරමුණ වෙනවා. මෙහි පැති කීපයක් පවතිනවා. එදිනෙදා කාලගුණ අනාවැකි ඉදිරිපත් කරනවා. මෙම කටයුත්ත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙන්ම මාධ්‍ය හරහා සිදු කරනවා. එයට අමතරව විශේෂ අවස්ථාවක් පවතී නම් ඒ සම්බන්ධයෙන් ද කාලගුණ අනාවැකි පළ කරනවා.
මෝසම් කාල පරිච්ඡේදයන්හි වැසි තත්ත්වයන් පිළිබඳව අදාළ ආයතන දැනුවත් කරනවා ද?
ඊසාන දිග සහ නිරිත දිග මෝසම් කාලපර්ච්ඡේද දෙක අප රටට ප්‍රධාන වශයෙන් බලපානවා. මෙම තත්ත්වයන් එළඹීමට ප්‍රථම අප මොන්සූන් කතිකාව පවත්වනවා. මෙහිදී ඉදිරි මාස කීපය තුළ මෙරට කාලගුණික තත්ත්වය කෙසේද කියන එක පැහැදිලි කරනවා. මේ සඳහා රාජ්‍ය අංශය, එම අනාවැකි තම ඉදිරි තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන අංශ සම්බන්ධ කර ගන්නවා. උදාහරණ වශයෙන් කෘෂිකර්ම, ධීවර, වාරිමාර්ග, විදුලිබල, වැවිලි කර්මාන්ත ආදී ආයතනවලට අපි ඉදිරි කාලගුණ තත්ත්ව පිළිබඳව දැනුවත් කරනවා.
මෝසම් කතිකාව පිළිබඳ තවදුරටත් විස්තර කළොත්?
මෝසම් කතිකාවට එළඹීමට පෙර අපි දකුණු ආසියාවේ රටවල් සමඟ එකතු වී අදාළ ආනාවැකිය පිළිබඳ සාකච්ඡා කරනවා. අදාළ රටවලට ගොස් හෝ ඔන්ලයින් ක්‍රමයට එම කටයුත්ත සිදු වෙනවා. එම සාකච්ඡාව හරහා අපේ රටට මාස කීපයකට අවශ්‍ය කාලගුණ අනාවැකිය ලබා ගන්නවා. ඉන් පසුව එම අනාවැකිය අපි තවදුරටත් අධ්‍යයනය කර මොන්සූන් කතිකාවට ඉදිරිපත් කරනවා. නිරිත දිග මෝසමට සාපේක්ෂව මේ අවුරුද්දේ මැයි 04 දින මොන්සූන් කතිකාවත පැවැත්වූවා. පසුගිය මාසෙ 20 දින ඊසාන දිග මෝසම් කාලපරිච්ඡේදයට සාපේක්ෂව කතිකාවේදී අපි ඉදිරි කාලයේ අනාවැකිය පිළිබඳව පැහැදිලි කළා. ඒවා අදාළ කණ්ඩායම් තම ආයතනවල තීන්දු, තීරණ ගැනීමේදී යොදාගන්න ඕනෑ. හැබැයි, අපට බැහැ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගොස් කව්පි වෙනුවට වෙනත් දෙයක් වගා කරන්න කියන්න. ඇත්තම කියනවා නම්, අපගේ කාලගුණ අනාවැකි තුළින් රටේ නිෂ්පාදනය වැඩි කිරීමට වක්‍ර ආකාරයෙන් දායකත්වයක් ලබා ගන්න පුළුවන්.
අපේ රටට බලපාන වැසි රටාවන් මොනවා ද?
මෙරට මෝසම් කාල පරිච්ඡේද හතරක් පවතිනවා. නිරිත දිග මෝසම (මැයි – සැප්තැම්බර්), දෙවන අන්තර් මෝසම (ඔක්තෝබර් – නොවැම්බර්), ඊසාන දිග මෝසම (දෙසැම්බර් – පෙබරවාරි), පළමු අන්තර් මෝසම (මාර්තු – අප්‍රේල්) වශයෙන් වෙනවා.
මෙවැනි මෝසම් තත්ත්වයන් යටතේ එල්නිනෝ, ඉන්දියානු සාගර ද්විද්‍රැවය වැනි සංසිද්ධීන් ඇතිවුණාම ඒවායේ බලපෑම හේතුවෙන් මෝසම් කාල පරිච්ඡේද හතරට විවිධ අන්දමින් බලපෑම් ඇති වෙනවා. පසුගිය කාලයේ අපේ අනාවැකිකරණය නිවැරදියි. පසුගිය මාසයේ 20 දින පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනේදීත් ඊසාන දිග මෝසමේ තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළා. එල්නිනෝ තත්ත්වය තවදුරටත් පවතින බව අපට තහවුරු වී තිබෙනවා.
ඒ නිසා ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මැද දක්වාම මෙම එල්නිනෝ තත්ත්වය නිසා මෙරටට බලපාන වර්ෂාපතනය සාමාන්‍ය අගයට වඩා වැඩියි. උදේ කාලයේ පායලා, සවස් කාලයේ වර්ෂාව මේ තත්ත්වය නිසා ඇතිවෙනවා. දෙසැම්බර් සිට පෙබරවාරි ගත්තහම එල්නිනෝ සංසිද්ධිය හේතුකොට ගෙන වර්ෂාපතනයේ සුළු අඩු වීමක් තමයි අපට ගණිත ආකෘතිවලින් පෙනෙන්නෙ. ඒ වගේම මාර්තු – අප්‍රේල් මාසවලද වර්ෂාපතනයේ අඩු වීමක් අපේක්ෂා කරනවා. අප මෙසේ ප්‍රකාශ කරන්නෙ ගණිත ආකෘතිවලින් ගන්නා උත්තරයි.
සමහර අවස්ථාවල දීර්ඝකාලීනව සිදු කරන කාලගුණ අනාවැකි වෙනස් වෙනවා නේද?
එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීමේ හැකියාවක්ද තිබෙනවා. අපේ රට පිහිටා තිබෙන්නෙ බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ අරාබි මුහුදු තීරයට යාබදවයි. මෙම මුහුදු තීරවල අඩු පීඩන කලාප, තරංගමය ස්වභාවය, කැළඹිලි ස්වභාවයන්, කුණාටු ආදී විවිධ සංසිද්ධීන් ඇති වෙනවා. මේවා ගණිත ආකෘතිවලට අසුවන්නෙ නැහැ. මේවා වර්ධනය වීම අපට පෙනෙන්නෙ දින 7 – 8 කට පෙරයි. මෙවැනි තත්ත්වයන් ඇතිවීම පිළිබඳව අපේ කාලගුණ අනාවැකි සපයන නිලධාරීන් අධ්‍යයනය කරනවා. හැබැයි ඕ – ලෙවල් සමත් අයට මේක කරන්න බැහැ.
කාලගුණ විද්‍යාඥයකුගේ කාර්යභාරය පිළිබඳව කතා කළොත්?
කාලගුණ විද්‍යාඥයෙකුට විශාල පරාසයක් අධ්‍යයනය කිරීමට සිදු වෙනවා. එවැන්නෙක් එකවර නිර්මාණය කරන්න බැහැ. භෞතික විද්‍යාවට හා ගණිත අංශයේ උපාධියක් ලබාගෙන පසුව ඔවුන්ට උසස් දැනුමක් ලබා දීම සඳහා විදේශගත කරනවා. එහිදී පශ්චාත් උපාධියෙන් කාලගුණ විද්‍යාව පිළිබඳව හැදෑරීමක් කරනවා. අපේ දෙපාර්තමේන්තුවට මානව සම්පත් හිඟයක් තිබෙනවා. අපගේ කාලගුණ විද්‍යාඥයින්, නිරීක්ෂකයින් කටුනායක, මත්තල, රත්මලාන ගුවන්තොටුපොළවලට අනුයුක්ත කර තිබෙනවා.
ගුවන් කටයුතුවලට අවශ්‍ය කාලගුණ තොරතුරු ඔවුන් අදාළ අංශයන්ට ලබා දෙනවා. ගුවන් යානයක් ගොඩබැස්සවීමට පැමිණි විට ධාවන පථය මීදුමෙන් වැසී ඇති අවස්ථාවක එම මීදුම් තත්ත්වය පහව යන්න කොපමණ වේලාවක් ගතවනවාද කියා අපේ විද්‍යාඥයින්ගෙන් අහනවා. එය නිවැරැදිව පැහැදිලි කළ යුතුයි. මීදුම පහව යන්න විනාඩි පහළොවක් ගත වෙනවා කීවොත් ගුවන් යානය උඩු ගුවනේ තබා ගෙන සිටිනවා. මීදුම පහව යන්න විශාල කාලයක් ගත වෙනවා කීවොත් ළඟම තිබෙන ගුවන්තොටුපොළක් කරා එම ගුවන් යානය ගමන් කරනවා. මෙවැනි දේ අපට අයහපත් කාලගුණ තත්ත්වයන් පවතින විට නිරන්තරව දක්නට ලැබෙනවා.
සුනාමි අවදානමක් ඇති වුවහොත් ඔබ දෙපාර්තමේන්තුවට පැවරෙන වගකීම කුමක් ද?
ඉන්දියන් සාගරයේ සහ අරාබි මුහුදේ ඇති වන භූමිකම්පා, ගිනිකඳු පිපිරීම්, උල්කාපාත කඩාවැටීම්, න්‍යෂ්ටික අත්හදා බැලීම් වැනි සංසිද්ධීන් හේතුවෙන් ඇති විය හැකි සුනාමි තත්ත්වයන් පිළිබඳව අප විමසිලිමත් වෙනවා. අපට අදාළ සාගර කලාපයක භූමි කම්පාවක් ඇතිවුවහොත් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව ක්‍රියාත්මක කරන සුනාමි පිළිබඳව දැනුවත් කිරීමේ මධ්‍යස්ථාන තුන හරහා භූමි කම්පාව පිළිබඳ තොරතුරු ලැබෙනවා. එය ශ්‍රී ලංකාවට කොපමණ දුරකින් සිදු වූවාද, ගැඹුර කොපමණ ද, තරංගය කොපමණ ප්‍රබලදැයි සොයා බලනවා. ඒ වගේම මුහුදේ රඳවන ලද බෝයාවන්ගෙන් තොරතුරු ද ලබා ගන්නවා. අපට තිබෙන මෘදුකාංගයකින් එම තොරතුරු බලාගන්න පුළුවන්. හැබැයි සුනාමියක් එනවාද, නැද්ද කියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආවාට ගියාට තක්සේරු කරන්නෙ නැහැ. මීට පෙර සඳහන් කළ මධ්‍යස්ථාන තුනේ තීරණත් අපි අරගන්නවා. හැබැයි සුනාමියක් එන එක හෝ නොඑන එක භූමිකම්පාව සිදු වී විනාඩි හතළිස් පහකට පෙර අපි ප්‍රකාශයට පත් කරනවා.
කාලගුණ අනාවැකි පිළිබඳ ජනතාවට විශ්වාසය අඩුයි. ඒ නිසා ජනතාව විවිධ චෝදනා නඟනවා නේද?
දවසින් දවස කාලගුණ තත්ත්වයන් වෙනස් වුණත් අප ජනතාවට වඩා නිවැරැදි අනාවැකියක් දීමට තමයි උත්සාහ කරන්නෙ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි පිළිබඳව විවිධ චෝදනා තිබෙනවා. අපත් ඒවා අසා තිබෙනවා. හැබැයි වත්මන් අනාවැකි පිළිබඳව විමසිය යුත්තේ ජනතාවගෙන්. අතීතයට වඩා වර්තමානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙරට ඇවිත් තියෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාගත වැඩසටහන් මොනවාද?
අප මේ වන විට ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කරනවා. පුත්තලම ප්‍රදේශයේ ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමේ කටයුත්තක් සිදු කරමින් පවතිනවා. වලාකුළු හැදී ඒවා වර්ධනය වූවාට පසුව රේඩාර් බීම් යවා වලාකුළේ එය ගැටීමට සලස්වා එහි කොපමණ ජල වාෂ්ප ප්‍රමාණයක් තිබෙනවා ද යන්න පිළිබඳව වර්ෂාව පොළොවට වැටෙන්නට කලින් එමඟින් තීරණය කළ හැකි වෙනවා. මෙමඟින් ආපදා තත්ත්වයන් වළක්වා ගැනීමට ජනතාව සම්බන්ධයෙන් විවිධ තීරණ ගන්න පුළුවන්. මෙම ව්‍යාපෘතියට අදාළ කටයුතු මේ වන විට ජපානය සමඟ සිදු වෙමින් පවතිනවා. මෙම කටයුත්ත අවසන් වන විට 2026 වෙයි. මේක ප්‍රදානයක්. ලෝක බැංකු ණයක් යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමේ වැඩසටහනක්ද තිබෙනවා. ඒ සඳහා දියුණු රටවල තිබෙන ක්‍රමවේද තමයි අපේ යෝජනාවලියේ තිබෙන්නෙ.
අප විවිධ දත්ත චන්ද්‍රිකා තාක්ෂණයෙන්, ස්වයංක්‍රිය කාලගුණ ක්‍රමවේදවලින්, ගෝලීය, දේශීය,වශයෙන් ලබා ගන්නවා. මේවා වෙන වෙනම විශ්ලේෂණය කර අනාවැකි ඉදිරිපත් කරනවා. හැබැයි මේවා සියල්ල එක් ස්ථානයකට ගොනු කිරීමේ ක්‍රමවේදයක් තමයි අප ලෝක බැංකු වැඩපිළිවෙළ හරහා ක්‍රියාත්මක කරන්නේ. එතැනදි අපට අනාවැකිය දිය යුතු ආකාරය පෙන්වනවා. මෙවිට වැරදි වීමේ සම්භාවිතාව අඩුයි. ලෝක බැංකු වැඩසටහනින් එවැන්නක් කිරීමට බලාපොරොත්තු වනවා. මෙම ව්‍යාපෘති දෙකම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නිවැරැදි අනාවැකිකරණය සඳහා ඉතා වැදගත්.
ඒ වගේම කාලගුණ විද්‍යා විෂය ක්ෂේත්‍රය දන්න අය හැම තැනම නැහැ. අපට සිටින්නෙ කාලගුණ විද්‍යාඥයො තිස් පහක් පමණයි. මේකත් අඩු වුණොත් මොකද වෙන්නෙ. ඒ නිසා අලුත් බඳවා ගැනීම් අවශ්‍යයි. ඒ සඳහා ඕ- ලෙවල් සමත් අය ගන්න බැහැ. ඕ ලෙවල් සමත් අය අප කාලගුණ අනාවැකිකරණය සඳහා පාවිච්චි කරන්නෙ නැහැ. ජනතාවට කාලගුණ තොරතුරු තම ජංගම දුරකතනයෙන් බලාගත හැකි වන පරිදි අනාවැකි නමින් යෙදුමක් ද නිර්මාණය කරමින් පවතිනවා.
උපාලි කරුණාරත්න