Home » රියැදුරු ලොරියට නඟින ලෑල්ලේ වැදුණු කාරය ලොරිය ඇතුළටම ගියා
කළමනාකරණ සහකාරවරයාගේ මියයෑම:

රියැදුරු ලොරියට නඟින ලෑල්ලේ වැදුණු කාරය ලොරිය ඇතුළටම ගියා

by sachintha
November 7, 2023 12:36 am 0 comment

මම ගිහින් බලද්දි ඔහුගේ ඔළුවෙන් ලේ ගලමින් තිබුණා

මරණ පරීක්ෂණයේදී ඇසින් දුටු සාක්ෂිකරු කියයි

කාර් රථය ලොරි රථයේ රියැදුරු සිටින දකුණු පැත්තේ ලොරියට නැඟීමට තිබෙන කෑල්ලේ වැදුණා. වැදී ඇතුළට ගියා. මම ගිහින් බලන විට ඔහුගේ ඔළුවෙන් ලේ ගලමින් තිබුණා යැයි මෝටර් රථ – ලොරි රථ අනතුරකින් මිය ගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී ඇසින් දුටු සාක්ෂිකරුවකු වන කුඩා විතානගේ ජයන්ත සුරංජිත් ( 46 ) මහතා සාක්ෂි දෙමින් පැවසීය.

මේ අනතුරින් මියගොස් ඇත්තේ සඳුන් රවින්ද්‍ර ජයසිංහ නමැති(39 ) ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකි. ඔහු ගල්පාත, දියගම, නො 98/1 ලිපිනයේ පදිංචි විවාහකයෙකි.

හොරණ දිස්ත්‍රික් රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී පැවති සාක්ෂි විභාගයේදී තවදුරටත් සාක්ෂි දුන් හොරණ, කහටපිටිය, කනන්විල, නො 26/3 ලිපිනයේ පදිංචි සාක්ෂිකරු මෙසේද පැවසීය. මම චිත්‍ර කලාව රැකියාවක් ලෙස කරනවා. 2023-11-04 වැනි දින සවස 5.30ට පමණ මම ගෙදර ඉඳලා මීටර් 800ක් විතර දුරින් ප්‍රධාන පාරේ තියෙන කඩයට බඩු වගයක් ගන්න ගියා. ගිහින් බඩු අරගෙන පයින්ම ආපහු ගෙදරට එන්න ආවා. මම පාරේ වම් අත පැත්තේ ඉදිරියට ආවා. වෙළේකඩේ හන්දියේ අලුත් බස් හෝල්ට් එක ඉස්සරහදී මොරගහහේන පැත්තේ ඉඳලා හොරණ දෙසට වාහන හතක් විතර ඉස්සර කරමින් කාර් එකක් ඉදිරියට එනවා මම දුටුවා.

ඒ එන පැත්තේ ඉදිරියෙන් වංගුවක් තිබුණා. හොරණ සිට මොරගහහේන පැත්තට ටෙන්වීල් බර ගෙනියන ලොරි රථයක් ආවා. ඒ අවස්ථාවේ වාහන හතක් විතර ඉස්සර කරමින් පැමිණි කාර් රථය අන්තිම වාහනය ඉස්සර කිරීමට හැදුවා. ඒ වන විට හොරණ සිට ගිය ලොරිය කාර් රථය ඉස්සර කිරීමට හැදූ වාහනය ළඟටම ඇවිල්ලා තිබුණේ. ඒ අවස්ථාවේ ඉස්සර කිරීමට හැදූ කාර් රථයේ රියදුරු කාර් රථය ඉස්සර කිරීමට ගිය වාහනයේ වැදීමට ගිය නිසා පාර පටු නිසා ඔහු යළි කාර් රථය වම් පැත්තට කැපුවා. ඒ සමඟම කාර් රථය ලොරි රථයේ රියැදුරු සිටින දකුණු පැත්තේ ලොරියට නැඟීමට තිබෙන ලෑල්ලේ වැදුණා. වැදී ලොරි රථය ඇතුළට ගියා.

ලොරි රථයේ රියැදුරු එතැනම තිරිංග තද කර ලොරිය නතර කළා. මම එතැනට ගිහින් බැලුවා. ඒ අවස්ථාවේ වැස්සත් තිබුණා. එතැනට සෙනඟ ආවා. මම ගිහින් එතැන සිටි අයට කතා කර අනතුරට ලක්වූ අයව එළියට ගැනීමට උදව් ඉල්ලුවා. කවුරුවත් ආවේ නෑ. පසුව මම ඔහුව එළියට ගත්තා. ඔහුගේ ඔළුවෙන් ලේ ගලමින් තිබුණා. මම පාරේ පැමිණි ත්‍රිරෝද රථයක් නවත්තා ගෙන තුවාලකරු හොරණ රෝහලට ගෙන ආවා. රෝහලේදී වෛද්‍යවරු පරීක්ෂා කර බලා තුවාලකරු මියගොස් ඇති බව කීවා.

ලොරි රථ රියැදුරු වන වැල්ලව, රිකිල්ලගමුව පදිංචි සායක්කාර මුදියන්සේලාගේ චමින්ද හේමකුමාර රත්නායක ( 53 ) මෙසේ සාක්ෂි දුන්නේය.

මම අවුරුදු 4ක ඉදලා කුරුණෑගල ඉදලා දෙණියායට පොහොර ප්‍රවාහනය කරනවා. ඒ අශෝක් ලේලන්ඩ් වර්ගයේ ලොරියකින්. ඒ යන්නේ දවස් දෙකකට එක් පාරයි. 04 දා උදේ මම මොරවක ඉදලා ගෙන ගිය පොහොර බාලා යළි කුරුණෑගල යෑමට දවල් 1. 30ට විතර මොරවකින් පිටත් වුණා. ඒ එන අතරමඟදී මොරගහහේන වෙළේකඩේ හන්දිය හරියේදී මගේ පැත්තට විරුද්ධ දෙසින් මොරගහහේන දෙස සිට හොරණ දෙසට නිල්පාට කාර් රථයක් තවත් වාහන හයක් විතර ඉස්සර කරමින් ඉදිරියට එනවා දුටුවා. එම කාර් රිය වේගයෙන් මාගේ වාහනය පැත්තට එන නිසා මම මගේ ලොරිය පාරේ වම් පැත්තට කැපුවා. ඒ අවස්ථාවේ මොරගහහේන පැත්තේ සිට පැමිණි වාහන නතර කර නිල් පාට කාර් රථයට ඉදිරියට යෑමට ඉඩ දුන්නත් කාර් රථය වේගයෙන් පැමිණ මගේ පැත්තට කපා මගේ ලොරි රථයේ රියැදුරු ආසනය පැත්තේ මම බිමට බසින පඩිපෙළ ළඟ වැදුණා. මම එතැනම ලොරිය නතර කළා. පසුව මම බැහැලා බැලුවා. එවිට කාර් රථය ලොරිය ළඟ තිබුණා. කාර් රථයේ රියැදුරු කාර් රථයේම හිර වෙලා හිටියා. ඒ සමඟම එතැනට සෙනඟ ආවා. ඔවුන් කාර් රථයේ දකුණු පැත්තේ දොර ඇරලා රියැදුරු එළියට අරගෙන ත්‍රිරෝද රථයකින් හොරණ රෝහලට රැගෙන ගියා. ඒ සමඟම මොරගහහේන පොලිසිය එතැනට ආවා. ලොරියත් මාවත් පොලිසියට ගෙන ගියා. අනතුරට ලක් වූ කාර් රථයේ රියැදුරු මිය ගිය බව පොලිසිය මට පැවසුවා.

මිය ගිය අයගේ බිරියද මෙහිදි සාක්ෂි දුන් අතර හොරණ දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. ආර්. එච්. ලියනගේ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය. කාර් රථය ලොරි රථයේ වැදි කාර් රථයේ රියැදුරුගේ හිසට සිදු වූ බරපතළ තුවාල මත මේ මරණය සිදු වී ඇති බව හොරණ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා නිගමනය කළේය.

ඡායාරූප – හල්තොට සමුහ

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT