Tuesday, May 6, 2025
Home » නීතිඥයන් කිහිපදෙනකු ඇතුළු කණ්ඩායමක් ලලිත් කොතලාවල ප්‍රාණ ඇපකරුවකු වශයෙන් රඳවා ගෙන සිටියා

නීතිඥයන් කිහිපදෙනකු ඇතුළු කණ්ඩායමක් ලලිත් කොතලාවල ප්‍රාණ ඇපකරුවකු වශයෙන් රඳවා ගෙන සිටියා

-ලලිත් කොතලාවලගේ බිරියගේ සොහොයුරිය උසාවියේදි කියයි

by sachintha
November 7, 2023 12:24 am 0 comment

නීතිඥයන් කිහිපදෙනකු ඇතුළු කණ්ඩායමක් ප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල ප්‍රාණ ඇපකරුවකු වශයෙන් රඳවා ගෙන සිටි බවත්, ඔවුන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන පිරිසක් බැවින් ඒ මහතාගේ මරණය ස්වභාවික එකක් විය නොහැකි බව කොතලාවල මහතාගේ බිරියගේ සොහොයුරිය වන ෂෙරින් විජේරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් ඊයේ (06) කියා සිටියාය.

කොතලාවල මහතාට එරෙහිව අධිකරණ කිහිපයක නඩු පැවරුණු විට එයින් ඔහු බලවත් මානසික පීඩාවකට පත්වුණු බවත් ඒ අවස්ථාවේ දී ඔහුට උදවු කිරීමට සමීප වූ නීතිඥයන් කිහිපදෙනකු, හිටපු අපරාධ පරීක්ෂණ නිලධාරියකු හා පොලිස් නිලධාරියකු ඔහු විනාශ කළ බව සාක්ෂිකාරිය කීවාය.

මේ පිරිස් මුලින්ම සමීප ඥාතීන් ඇසුරෙන් කොතලාවල මහතා වෙන් කළ අතර, අනතුරුව අවු 30-40ක් ඔහුට සේවය කළ හිතෛෂී සේවකයන්ගෙන් ද ඈත්කර හුදෙකලා අඳුරු කාමරයකට සීමා කළ බවත් කීය.

එමෙන්ම ඔහු සිය නිවෙසින් රැගෙන ගොස් කාර්යාල කාමරයේ රඳවා ඔහුගේ දෛනික කටයුතු එම කාමරයට පමණක් සීමා කළ බවත් ඔහුගේ අධ්‍යක්ෂ මණ්ඩල කාර්යාලය හිරු රැස් නොවැටෙන, කළු පැහැ ටින්ටඩ් කළ එකක් වූ අතර, මේසයට දමා තිබුණේ ද කළු පැහැ රෙද්දක් බැවින් එය මනසට පීඩාකාරී එකක් වූ බවත් කීය.

කොතලාවල මහතා රඳවා සිටි පිරිස් ඉතාම උපක්‍රමශිලී ලෙස ඔහු මානසික බියකට නතුකර ගෙන සිටි බවත් ඒ නිසා ඔහුගේ මනස බෙහෙවින් පිරිහී ගිය බවත් එම කාලය තුළ අදාළ පිරිස් ඔහුගේ සියලුම වටිනා දේපළ ඔවුන්ගේ නමට ලියා ගත් බවත් කීය.

වැඩිදුරටත් සාක්ෂි දෙමින් ෂෙරින් විජේරත්න මහත්මිය මෙසේ කීවාය.

ලලිත් කොතලාවල මහතා රෝහල්ගත කළ බව ඔහුගේ නීතිඥ දිනේෂ් ජයවීර ඥාතීන්ට දැනුම් දුන්නේ මරණය සිදුවීමට දින දෙකකට පෙරයි. නීතිඥවරයා කොතලාවල රෝහල් ගත කළ බව දැනුම් දුන් විට ඒ බව කොතලාවල මැතිනියට දැන්වූයේ දැයි මා ඇහුවා. ඔහු නැතැයි පිළිතුරු දුන්නා.

පසුගිය 20දා මා දියණිය සමඟ ඔහු බලන්න රෝහලට ගියා. එවිට ඔහු රඳවා සිටි කාමරයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සමඟ නිරෝෂා ප්‍රියදර්ශන නම් තැනැත්තිය සිටියා. අප දුටු විගස ඇය හැංඟුණා.

ඔහු බලන්නට ආවාට කොතලාවල අපට ස්තූති කළා. දුවට ආදරේ බව කිව්වා.

ඔහු තරමක නිදිමත ගතියෙන් සිටිය නිසා ඒ ඇයිදැයි මා හෙදියගෙන් ඇහුවා. කොතලාවලගේ ශරීරයේ සෝඩියම් මට්ටම පහළ ගොස් ඇති විට එසේ වන බව ඈ කිව්වා.

ඔහුට දියවැඩියාව සහ හෘදයාබාධය තිබෙන බව අප දැන සිටියා. නමුත් ඔහුගේ ශරීරය තුළ පේස්ට් මේකර් මැෂිමක් තැන්පත් කර ඇති බව අප දැනගත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුවයි.

ඔහු හදිසියේ රෝගී වූ විට නිවෙස ආසන්නයේ පිහිටි ඩර්ඩන්ස් රෝහලට රැගෙන නොගොස් දුරින් ඇති නාරාහේන්පිට ප්‍රදේශයේ රෝහලකට ගෙන යෑම ගැටලු සහගතයි.

කොතලාවල රෝහල්ගත කිරීමට දින දෙකකට පෙර ඥාති දියණියන් දෙදෙනෙක් ඔහු රඳවා සිටි ස්ථානයට ගියා. එවිට ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් හිටියා. එහි රැඳී සිටි ආරක්ෂකයන් ඔවුන්ට ඔහු සමඟ නිදහසේ කතා කරන්න දුන්නේ නැහැ. නමුත් එහිදී ඔවුන් අසාමාන්‍ය දෙයක් නිරීක්ෂණය කළා.

හරියටම 11ට ඔහු වේලාව බලා වැසිකිළියට යා යුතු යැයි කිව්වා. ඔහු රඳවාගෙන සිටි අය කොතලාවල යම් ඒකාකාරි කාලසටහනකට යන්ත්‍රයක් මෙන් ප්‍රෝග්‍රෑම් කර ඇති බව ඔවුන්ට වැටහුණා.

මා පෙර නම් කරන ලද පුද්ගලයන් තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට ඕනෑම දෙයක් කළ හැකි පිරිසක්. තමන්ට අවශ්‍ය දේ ලබා ගත් පසු ඔහු තවදුරටත් සිටිය යුතු නැතැයි ඔවුන් සිතන්න ඇති. ඒ නිසා මේ මරණය ස්වභාවික මරණයක් නොවන බව මා තරයේ විශ්වාස කරනවා.

ඇය සාක්ෂි දීමෙන් අනතුරුව ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් තවත් සාක්ෂි තිබේදැයි විනිසුරුවරයා විමසන ලදී. එහිදී පෙර දින දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ කොතලාවල මහතාගේ අරක්කැමියා, සනීපාරක්ෂක සේවිකාව ඇතුළු සිවුදෙනෙක් ඉදිරිපත් වූහ. මීළඟ නඩු දිනය වන අද (07දා) අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා ඔවුන්ට නියම කළේය.

අනතුරුව පෙර දිනයේ (03දා) අධිකරණය ඉදිරියේ සාක්ෂි දුන් ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ පෙරේරා නමැති සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ දිවුරුම් දී ඔහුට හිතෙන හිතෙන දේවල් ප්‍රකාශ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිඥ සමන් ලියනගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දැන්වීය.

නඩුව යළි අද (07) කැඳවේ.

නීතිඥ නෆාල් හදීස්, නීතිඥ රංජිත් සමරකෝන් සහ නීතිඥ ෂනල් තිලකරත්න කොතලාවල මහතාගේ බිරිඳගේ සහෝදරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. පොලිස් සැරයන් (58420) අජිත් කාරියවසම් මහතා පැමිණිල්ල මෙහෙයවීය.

 

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT