මීගොඩ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකින් (06) දහවල් ලබාදුන් දිවා ආහාරයක් විෂ වීමෙන් අසාත්මික තත්ත්වයට පත් වූ සේවක සේවිකාවන් 33ක් පමණ රෝහල් ගත කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. එසේ රෝහල් ගත කළ සේවක සේවිකාවන් 20ක් හෝමාගම මූලික රෝහලටත් තවත් 13ක් පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන් 12ක්ම කාන්තාවන් බව පොලිසිය කියයි. වයස අවුරුදු 20 සහ 45 වයසේ පසුවන රෝහල් ගතකළ සේවක සේවිකාවන්ගේ තත්ත්වය සාමාන්‍ය බව පොලිසිය පවසයි.
මීගොඩ ප්‍රදේශයේ පිහිටි 350ක් පමණ සේවයේ නිරත ඇඟලුම් ආයතනයක සේවක සේවිකාවන් 06 දා දහවල් ඇඟලුම් කම්හලෙන් දිවා ආහාරය ලබා ගෙන ඇති අතර ඉන් සේවක සේවිකාවන් කීප දෙනෙකු වමනය,ක්ලාන්තවීම හා හිසේ කැක්කුම හට ගැනීම නිසා ඇඟලුම් කම්හලේ ප්‍රථමාධාර ඒකකය මගින් ප්‍රතිකාර ලබා දී එය ප්‍රමාණවත් නොවීම නිසා පසුව මෙසේ හෝමාගම සහ පාදුක්ක රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
ඇතැම් සේවකයන්ගේ කැස්ස වෙව්ලිල්ල සහ සිරුරේ පළු දැමීම්ද හටගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. එදින දිවා ආහාරයට පරිප්පු, ගෝවා මැල්ලුමක්,බීට් සහ බැදපු මාළු දී ඇති අතර බැදපු මාළු ආහාරයට ගැනීමේදී අසාත්මිකතාවට පත්වීම සහ කටකැසීම හටගෙන ඇති අතර මද වේලාවකට පසුව මෙසේ වමනය යෑම හිසරදය සහ ක්ලාන්ත ගතිය හට ගැනීම නිසා රෝහල් ගත කළ බව පැවසෙයි. සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඔවුන් පැමිණ ආහාර සාම්පල් ලබාගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මීගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කොට්ටාව ප්‍රදීප් කුමාර
266