Home » ටෙලි නාට්‍ය නළුවා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ඉතාලි රැකියා දෙනවා කියා හොඳට ගරලා

ටෙලි නාට්‍ය නළුවා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

-මාධ්‍ය ආයතන රැසකින් නිකුත් කළ හැඳුනුම්පතුත් තිබිලා

by sachintha
November 7, 2023 12:22 am 0 comment

ඉතාලියේ වීසා සමඟ රැකියා සඳහා යොමු කරන බව පවසා පුද්ගලයන් රවටා මුදල් ලබාගෙන පොලිසියට කට්ටි පනිමින් සිටි මෙරට රූපවාහිනී නාළිකා කිහිපයකම විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක මෙන්ම චිත්‍රපට කිහිපයක සහාය නළුවකු ලෙස රංගනයෙන් දායක වන පුද්ගලයකු ඇතුළු තිදෙනෙක් පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (06) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම පුද්ගලයා විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයකම රැකියාවක නිරත වූවකු බව කියන අතර ඔහු සතුව තිබී මාධ්‍ය ආයතන රැසකින් නිකුත් කර ඇති හැඳුනුම්පත් කිහිපයක්ද සොයාගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පරිගණක ඔස්සේ සකස් කළ ඉතාලි වීසා සහ ගුවන් ටිකට්පත් පෙන්වමින් මෙම වංචාව ඔහු විසින් සිදු කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම නළුවා විදේශ රැකියා ඒජන්සියක ප්‍රධානියකු ලෙස පෙනී සිටිමින් මෙම වංචාව කර ඇති බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. රුපියල් ලක්ෂ 05 සිට 20 දක්වා වූ ප්‍රමාණවලින් ඔහු සහ ඔහුගේ සගයන් දෙදෙනා මුදල් ගෙන මෙම වංචාවේ නිරතව සිට ඇති බව ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

මෙම නළුවා පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදීත් ඔහුගේ සගයන් දෙදෙනා කිරිබත්ගොඩදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම සැකකරුවන් දෙදෙනා කිරිබත්ගොඩ හෝටලයක නවාතැන්ගෙන සිට ඇත.

කට්ටි පනිමින් සිටි මෙම නළුවා මල්වත්ත පාරට පැමිණෙන බවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් ජයලාල් (428) ප්‍රමුඛ බුද්ධි නිලධාරීන් කිහිප දෙනකු විසින් තොරතුරු ගවේෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම නළුවාව අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව ව්‍යාජ ඉතාලි වීසා, ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර පවා තිබී හමු වූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය.

මෙම පුද්ගලයා වංචාවලින් ලබාගන්නා මුදල්වලින් හෝටල්වල නවාතැන් ගනිමින් සැපවත් ජීවිතයක් ගත කරමින් සිට ඇති බවත් එසේ ඔහු හෝටල්වල නවාතැන්ගෙන සිට ඇත්තේ පොලිසියෙන් බේරීමට බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම නළුවා මෙසේ මිනිසුන් රවටා ලබාගන්නා මුදල්වලින් රට සවාරි පවා ගොස් ඇති බවත් අත්අඩංගුවට ගත් දිනට පෙර දිනයේදී ඔහු ඩුබායි සිට පැමිණ ඇති බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.

පොලිසියට තමා ඉන්නා තැනක් පහසුවෙන් හඳුනා ගැනීමට නොහැකි වන ලෙස ඔහු කටයුතු කර ඇති බවත් ඔහු දුරකතන ඇමතුම් පවා ලබාගෙන ඇත්තේ වට්ස්ඇප් මඟින් බවත් එම නිලධාරියා කීය. මෙම නළුවා ඇතුළු කණ්ඩායමට රැවටී ඇතැම් පුද්ගලයන් සිය ගේ දොර පවා උකස් කර ඉතාලි යෑමට මුදල් දී ඇති බවත් ඇතැම් අය බැංකු ණය පවා ලබාගෙන මුදල් දී ඇති බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

මෙම නළුවා සමාජ ශාලාවල රාත්‍රී කාලයට ගැවසීමට පුරුදු වී සිටින බවත් රුපියල් කෝටියක මුදලක් මෑතකදී ඔහු කැසිනෝ ඔට්ටු ඇල්ලීමට ගොස් පරාජය වී ඇති බවටත් තොරතුරු මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට ලැබී තිබේ.

මෙම නළුවාට රට වටේම පුද්ගලයන් රැවටී ඇති බවත් වැඩි පිරිසක් රැවටීමට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් බවත් පොලිසිය කියයි. එබැවින් සැකකරුවන්ව විමර්ශන කටයුතු සඳහා අවිස්සාවේල්ල පොලිසියට භාරදුන් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර, උප පොලිස් පරීක්ෂක සඳරුවන්, පොලිස් සැරයන් ජයලාල් (428), පොලිස් කොස්තාපල්වරුන් වන උදය (84889), බාලසූරිය (77090), සංජීව (91287), ජයසේකර (93681), සියන්ත (94009), කුමාර (104678), කුරුකුලසූරිය (104547), කාන්තා කොස්තාපල්වරියන් වන දිල්හාරා (11352), ශාලිකා (12617), පොලිස් කොස්තාපල් රියැදුරන් වන උදාර (16227) සහ සිල්වා (105529) යන නිලධාරීහු මේ වැටලීමට එක් වූහ.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT