Monday, April 28, 2025
Home » නව ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක්

නව ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක්

by sachintha
November 8, 2023 12:27 am 0 comment

නොවැ. 16 දා උසාවියේ පෙනී සිටින්නැයි ක්‍රීඩා ඇමැතිට-කමිටු සාමාජිකයන්ට නොතීසි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා නව අතුරු පාලක කමිටුවක් පත් කරමින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එසේම අදාළ අතුරු කමිටුවේ සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වමින් අතුරු නියෝගයක් ද නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ කටයුතුවලට බලපෑම් කිරීමෙන් හා මැදිහත් වීමෙන් මෙම අතුරු කමිටුව සහ ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු බලධාරීන් වළක්වමින් අතුරු නියෝගයක් ද නිකුත් කරන ලදි.

මෙම අතුරු නියෝගයන් දින දාහතරක් බලපවත්වන පරිදි නිකුත් කළේය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලියාපදිංචිය තහනම් කර නව අතුරු කමිටුවක් පත් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන නොවැම්බර් මස 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කරමින් නොතීසි ද නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා නව අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට එරෙහිව එහි හිටපු සභාපති ශම්මි සිල්වා මහතා විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කරමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කරන ලදි‍. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශ ලේකම්වරයා, නව අතුරු කමිටු සාමාජිකයන් වන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, එච්. කේ. උපාලි ධර්මදාස, නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, එම්. එච්. ජමාල්ඩීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි යන මහත්වරුන් ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවීය. එහිදී වගඋත්තරකාර ක්‍රීඩා ඇමැතිවරයා හෝ සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නැත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශපාලන අතපෙවීම්වලින් සහ බලපෑම්වලින් තොරව පවත්වාගෙන යා යුතු බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් මීට පෙර දැනුම්දීමක් සිදු කර ඇති බවය.

එසේ තිබියදී ක්‍රීඩා ඇමැතිවරයා විසින් දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම් සිදු කරමින් එහි ස්වාධීනත්වයට බාධා කරන බව ඔහු සඳහන් කළේය.

නොවැම්බර් මස පස් වැනි ඉරිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලියාපදිංචිය අත්හිටුවන ලද බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් පරිපාලන කටයුතු කිරීමට සහ තීන්දු තීරණ ගැනීමට සාමාජිකයන් හත් දෙනකුගෙන් යුත් මෙම අතුරු කමිටුවක් පත් කළ බව ද ඒ මහතා සඳහන් කළේය. කෙසේ වුවද ක්‍රීඩා ඇමැතිවරයා අදාළ ගැසට් නිවේදනය දෙමළ භාෂාවෙන් නිකුත් කර නැති බව ද ඒ මහතා සඳහන් කළේය.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන් පමණක් එම ගැසට් නිවේදන නිකුත් කර ඇති අතර එහි සඳහන් කරුණු එකිනෙකට පරස්පර සහ වෙනස් බවට ඔහු කරුණු ඉදිරිපත් කළේය.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා ඇමැතිවරයාට පැවරී ඇති බලතල අනුව දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සහ යුතුකම් හා වගකීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලියාපදිංචිය අත්හිටුවන බව එහි එක ගැසට් නිවේදනයක සඳහන් වන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද විමර්ශන වාර්තාවක් මඟින් අනාවරණය කරගත් වංචා දූෂණ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා මෙම අතුරු කමිටුව පත් කරන බව අදාළ අනිත් ගැසට් නිවේදනයේ සඳහන් වන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. ලියාපදිංචිය අහෝසි කළ ද ආයතනයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ නොහැකි බව ඔහු සඳහන් කළේය. එසේම වගඋත්තරකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නේ නම් ඔවුන්ට ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් සිදු කළ යුතු අතර නිදහසට කරුණු විමසිය යුතු බව ද ඔහු සඳහන් කළේය. එහෙත් ක්‍රීඩා ඇමැතිවරයා මෙහිදී එවැනි කිසිදු කටයුත්තක් සිදු නොකර ඇති අතර ඇමැතිවරයාගේ මෙම ක්‍රියාකලාපය මඟින් ස්වාභාවික යුක්ති මූලධර්මය උල්ලංඝනය වන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එසේම එය අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාමාර්ගයක් බව ද ඔහු සඳහන් කළේය. ක්‍රීඩා ඇමැතිවරයා විසින් මෙම අතුරු කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත්ව නොසිටි බවට ද මාධ්‍ය වාර්තා පළ වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සිවුදෙනකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවට කරුණු වාර්තා වූ බව ද ජනාධිපති නීතිඥවරයා මෙහිදී අධිකරණයේ අවධානයට යොමු කළේය.

ක්‍රීඩා ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය අත්තනෝමතික බවට ඔප්පු කිරීම සඳහාත් එයම සාධකයක් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලියාපදිංචිය අත්හිටුවා නව අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග ක්‍රීඩා නීති රෙගුලාසිවලට පටහැණි බව ද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල ඉහත අතුරු නියෝග නිකුත් කිරීමට තීරණය කළේය.

නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, රොනල්ඩ් පෙරේරා යන මහත්වරු සමඟ නීතිඥ නිරාන් ඇන්කටෙල් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT