Home » ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභා පනත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභා පනත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

-ඇමැති බන්දුල ගු ණවර්ධන

by sachintha
November 8, 2023 1:05 am 0 comment

සිනමා කර්මාන්තය ඉහළ නැංවීම සඳහා වන ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභා පනත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසුවේය.

මෙරට සිනමා ශාලාවන් 143ක් පවතින අතර සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා වෙනත් චිත්‍රපට ඉදිරිපත් කළ හැකි ඩී. සිනමා ශාලාවන් සංඛ්‍යාව 71ක් බවත් සිනමාහල් 71න් සිනමාහල් 25ක් ක්‍රියාත්මක වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවට අයත්ව වන අතර, එම සිනමාහල්වලින් 2022 වර්ෂය සඳහා රුපියල් මිලියන 804.6ක මුදලක් උපයා ඇති බවත් ඇමැතිවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

වොක්ෂලයිට් සිනමාහල් 2023 වර්ෂයේ ආරම්භ කළ බව ද ඇමැතිවරයා පැවසුවේය.

සිනමාහල් 46ක් ක්‍රියාත්මක වනුයේ වෙනත් ප්‍රදර්ශන මණ්ඩල 4ක් යටතේ වන අතර, මූවී ප්‍රඩියුෂින් හා ඉම්පෝර්ටන්ස් පෞද්ගලික සමාගම, ලංකා ෆිල්ම්ස් ඩිස්ට්‍රිබියුෂන් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, සිනමා එන්ටටේන්මන්ට් පෞද්ගලික සමාගම, ඊ. ඒ. පී. ෆිල්ම්ස් හා තියටර්ස් පෞද්ගලික සමාගම, එම සිනමාහල්වල ආදායම ජාතික චිත්‍රපට සංස්ථාවේ ලේඛනගත නොකරන අතර, ප්‍රේක්ෂක සංඛ්‍යාව පමණක් ලේඛනයට ඇතුළත් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

2022 වර්ෂයේ දී එම සිනමා ශාලාවලින් ප්‍රේක්ෂකයන් මිලියන 2ක් පමණ චිත්‍රපට නරඹා ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

මෙරට සිනමා කර්මාන්තයෙන් උපයන මුදල වැඩි කර ගැනීමට සැලසුමක් සකසා ඇති බවත් ජාතික චිත්‍රපට සංවර්ධන පනත් කෙටුම්පත ඒ සඳහා උපයෝගී වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. කැබිනට් මණ්ඩලය තුළින් සිනමාව පමණක් නොව රූපවාහිනියත් ඊට ඇතුළත් කර ඒ සැලැස්ම නැවත විද්වත් මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය නියෝග කළ බව ද ඇමැතිවරයා පැවසුවේය.

රූපවාහිනිය සහ වෙනත් මාධ්‍යයන් පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කරන බවට අදාළ විද්වත් මණ්ඩලය දැනුම් දී ඇතැයි ද, ඒ පිළිබඳ කමිටු වාර්තාව කැඳවීමෙන් පසුව ඉතාම ඉක්මනින් ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT