Home » බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ජීවිතාරක්ෂක ඖෂධ

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ජීවිතාරක්ෂක ඖෂධ

by chanaka
November 10, 2023 3:08 pm 0 comment

බංග්ලාදේශයේ ඖෂධ කර්මාන්ත සංගමය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලද, කිලෝග්‍රෑම් 1,000 ක පමණ බරකින් යුත් තවත් ජීවිතාරක්ෂක ඖෂධ තොගයක් නොමිලේ මෙරටට රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා කටයුතු කළේ ය.

මෙය විදේශ රජයන් හා සංවිධාන මගින් මෙරටට පරිත්‍යාග කරනු ලබන අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගාස්තු අයකිරීමකින් තොරව මෙරටට රැගෙන එමින් ජාතික මෙහෙවරකට උරදීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය දරන උත්සාහයේ තවත් පියවරකි.

“රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය යම් යම් ගැටලුවලට මුහුණ දී සිටින මෙවන් මොහොතක, අවස්ථාවක් ලැබුණු සැණින් අපට හැකි උපරිමයෙන් රටටත් ජනතාවටත් අපගේ සහයෝගය ලබාදීමට අප සූදානම්. අතීතයේ පටන් අවස්ථා රාශියකදී ලොව විවිධ රටවල් හා සංවිධාන පරිත්‍යාග කළ ඖෂධ තොග මෙලෙස දිවයිනට රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදීත් මෙලෙසින්ම ශ්‍රී ලංකාවේ ජීවිතාරක්ෂක ඖෂධ තොග නිසි පරිදි පවත්වාගැනීමට දායක වීමට අප සූදානම්.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසී ය.

බංගලාදේශය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඖෂධ, එරට ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් වන Beximco Pharma, Square, Incepta, Renata, Unimed Unihealth, Healthcare, Beacon, Acme, Synovia Pharma සහ Nuvista Pharma මගින් නිෂ්පාදන කර තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගෙන, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 190 දරන ගුවන් යානයෙන්, 2023 නොවැම්බර් 04 දින මෙම ඖෂධ තොගය මෙරටට රැගෙන එන ලදි.

“දකුණු ආසියාවේ මිත්‍ර රටවල් දෙකක් වන බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ අතිශය ගැඹුරු හා සමීප සම්බන්ධතාවක්. කාලයත් සමග නොවෙනස්ව ඉදිරියට ගිය මේ ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දායක වීමට අප කැප වී සිටිනවා.” බංග්ලාදේශයේ ඖෂධ කර්මාන්ත සංගමයේ සභාපති නස්මුල් හසන් මහතා පැවසී ය.

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ඩකා අතර භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකරන ප්‍රධානතම ගුවන් සේවයයි. ඒ අනුව දෙරට අතර දෛනිකව කිලෝග්‍රෑම් 15,000 ඉක්මවා භාණ්ඩ ප්‍රවාහනය කරනු ලැබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොළඹ පිහිටි සිය සේවා මධ්‍යස්ථානය මගින් ලබාදෙන පහසුකම් හේතුවෙන් බොහෝ භාණ්ඩ ප්‍රවාහන සමාගම් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කිරීමට පෙළඹී සිටිති. මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ඩකා නගරය අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, සෘජුව හා හවුල්කාරීත්වයන් හරහා තවත් ගමනාන්තයන් 100 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT