නුවරඑළිය තැපැල් ගොඩනැඟිල්ලට කිසිදු හානියක් නොවන පරිදි ආයෝජන කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබෙන බැවින් අද (10) සිට සේවයට වාර්තා කරන්නැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා සියලු තැපැල් සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ තැපැල් මූලස්ථානයේදී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.
එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය:
“මේ දිනවල තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් අතර සහ වෘත්තීය සමිති ගැටලුවක් මතු වෙලා තිබෙනවා.
“මේ ගොඩනැඟිල්ල 1894 දී හදපු ගොඩනැඟිල්ලක්. ඒ වගේම 2007 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැඟිලක් හැටියට නම් කරලා තියනවා. ඒ නිසා මෙහිදී විශේෂයෙන්ම අපේ තැපැල් සේවකයන් සහ වෘත්තීය සමිති මේ වෙලාවෙදිත් ඔවුන් කියන්නෙ මේ ගොඩනැඟිල්ල තබා ගනිමින් ඒ ආයෝජනයත් කරන්න කියලා. තැපැල් ගොඩනැඟිල්ලත් එතන තබා ගනිමින්, තැපැල් සේවයත් එතන සිදු කරන ගමන් ආයෝජනයටත් ඉඩකඩ ලබා දෙන්න. මොකද ආයෝජනයන් මේ වෙලාවෙ කරන්න ඕනෙ වෙලාවක්. අපි ඒ සඳහා එකඟතාව පළ කරලා තියනවා.
“විශේෂයෙන්ම රජය බලාපොරොත්තු වන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගයත් දෙමින් එම ගොඩනැඟිල්ලත් ආරක්ෂා වෙන පරිදි අපි නාගරික සංවර්ධන අධිකාරියත් සමඟ සාකච්ඡා කරලා තියනවා මේ සඳහා විසඳුමක් දෙන්න. මේ වෙලාවේ රටේ ආර්ථික වශයෙන් සෑම ක්ෂේත්රයක් ඔස්සේම දියුණු කරන්න රජය විශාල උත්සාහයක් ගන්නවා. ඒ නිසා මේ ගොඩනැඟිල්ලත් ආරක්ෂා කරගෙන මේ භූමිය ආයෝජනයක් සඳහා දීමට තමයි අපේ එකඟතාව තියෙන්නෙ.
“නුවරඑළිය ප්‍රදේශයේ ඇතැම් නිලධාරීන් නිවැරදිව මේ කාරණය සන්නිවේදනය නොකරපු නිසා තමයි යම් මතභේදාත්මක තත්ත්වයක් ඇති වෙලා තියන්නෙ. විශේෂයෙන්ම රජය බලාපොරොත්තු වන ආකාරයටම නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහාත්, අවශ්‍ය ආයෝජන එතනට ගෙන ඒම සඳහාත් කටයුතු කරනවා වගේම තැපැල් දෙපාර්තමේන්තුවේ ගොඩනැඟිල්ල ආරක්ෂා කර ගනිමින් එයත් සංවර්ධනය කරලා කටයුතු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.
“මොකද තැපැල් දෙපාර්තමේන්තුව දිගටම පාඩු ලබපු ආයතනයක්. මිලියන 7,000ක් පමණ වර්ෂයකට පාඩුවක් ලබපු ආයතනයක්. ඒ නිසා විශේෂයෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සේවකයන් සියලු දෙනාම එක පවුලක් හැටියට එකතු වෙලා වැඩ කරන වෙලාවක්. අපි තැපැල් දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්ත්වයෙන් මුදාගෙන ලාභ ලබන දිශාවට මේ වෙනකොට හරවලා තියනවා. ඒ වගේම අපි මේ අවුරුද්ද අවසාන වෙනකොට බිලියන 7ක පාඩුව බිලියන 4 දක්වා අඩු කරලා ලබන අවුරුද්ද වෙනකොට කිසිම පාඩුවක් නැති දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් යන වෙලාවක්.
“තැපෑල කියන්නෙ අත්‍යවශ්‍ය සේවාවක්. දවසක්වත් පරක්කු කරන්න බැරි දෙයක්. තැපෑල වේගයෙන් දියුණු වෙන වෙලාවක් මේක. මේ මාස කිහිපය තමයි අපි වැඩිම ආදායම් උපයන්නෙ. ඒ වගේම අපි තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරලා නව තාක්ෂණයත් සමඟ වෙනත් රටවල විදියට ඉදිරියට යන්න පැහැදිලි වැඩපිළිවෙළක් මේ වෙනකොට හදලා තියනවා. ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක්. එතකොට ඒ ඒකාබද්ධ ව්‍යාපෘතිය තුළත් මේ වගේ වටිනා ඉඩම් විවිධාකාරයෙන් ආයෝජනය කරන්න, ඒ වගේම ආදායම් උත්පාදන වැඩසටහන්වලට යොදවන්න තිෙයනවා. ඒ හැම එකක්ම කරන්නෙ තැපෑලට කිසිම හානියක් නොවෙන්න. ඒ දේවල් ඒ විදියටම ආරක්ෂා කරගනිමින් තමයි ඒ දේවල් කරන්නේ.”
ඡායාරූපය – ගයාන් පුෂ්පික