පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙනු ලැබීය.
මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ආශ්‍රයෙන් විධිමත් කෙටුම්පතක් සම්පාදනය කර නව ක්‍රීඩා පනතක් සම්මත කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී තිබේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිමය රාමුව සහ ක්‍රීඩා පරිපාලනයේ පවතින ව්‍යුහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත භාරදී ඇති මෙම විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාවේ මූලික නිර්දේශයක් වනුයේ, පවතින නීතිමය රාමුව සහ පරිපාලන ව්‍යුහය පුළුල් ලෙස වෙනස් කිරීම සඳහා ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියක් (National Sports Development Authority – NSDA) ස්ථාපිත කළ යුතු බවය.
එසේම එම අධිකාරියට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් නියාමනය කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහ පූර්ණ අධීක්ෂණය හිමි විය යුතු බවට ද යෝජනා කර ඇත.
මෙම ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මූලික අරමුණු 8ක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බව ද අධ්‍යයන කමිටු වාර්තාව මඟින් යෝජනා කර තිබේ.
එසේම එම අධිකාරිය සාමාජිකයන් 11 දෙනකුගෙන් සමන්විත විය යුතු බවට ද යෝජනා කර ඇත. මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ඔලිම්පික් කමිටුවෙහි (NOC) සභාපතිවරයා නිල බලයෙන් යෝජිත අධිකාරිය සඳහා පත්වන අතර, යම් ක්ෂේත්‍රයක හෝ ව්‍යාපාර හා වාණිජ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෘත්තිකයන් තිදෙනකු, ජාතික ක්‍රීඩා කණ්ඩායමක හිටපු නායකයන් හෝ ක්‍රීඩාවට හා රටට සුවිශේෂ සේවාවක් ලබාදුන් පුද්ගලයන් අතුරින් දෙදෙනකු, ජාතික ඔලිම්පික් කමිටුව යටතට අයත් නොවන ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක (NSA) හිටපු සභාපතිවරයකු මෙන්ම මුදල්, අධ්‍යාපන හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ තුනෙහි ලේකම්වරුන් විසින් නම් කරන නියෝජිතයන් තිදෙනකුගෙන් සමන්විත විය යුතු බවට ද යෝජනා කර තිබේ.
යෝජිත ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිල කාලය වසර 04ක් වන අතර, ඒ සඳහා නම් කිරීමෙන් සහ නිල බලයෙන් පත්වන සාමාජිකයන් හැර අනෙක් සියලුම සාමාජික තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට අදාළ නාමයෝජනාවන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර අනුමැතිය ලබාගත යුතු බවට ද යෝජනා කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම සාමාජිකයන් අතුරින් සුදුසු පුද්ගලයකු අධිකාරියේ සභාපතිවරයා ලෙස නම් කරමින් පත් කිරීමට කටයුතු කළ යුතු බවට ද විශේෂඥ අධ්‍යයන කමිටු වාර්තාව විසින් යෝජනා කරනු ලැබේ.
තවද, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල අවශ්‍යතාවන්ට අනුකූල වීම සඳහා ජාතික ක්‍රීඩා සංගම් පවත්වාගෙන යෑමේදී අවම මැදිහත් වීමක් සහතික කිරීම සඳහා දේශපාලන බලපෑම් අවම කිරීමට කටයුතු කිරීමට මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ පැමිණිලි සහ ආරවුල් විසඳීම සඳහා බලය සහිත විනිසුරුවරුන් 10 දෙනකුගෙන් සමන්විත ක්‍රීඩා පැමිණිලි විසඳීමේ අධිකරණයක් (SGRT) පිහිටුවීමටත් මෙමඟින් යෝජනා කර තිබේ. ඊට ඉදිරිපත් වන පැමිණිල්ලක් විසඳීම අවම වශයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් සිදු කළ යුතු බව ද එහිදී අනිවාර්ය කර ඇත.