තහනම් ප්‍රදීප පහන් භාවිතා කරමින් මහ මුහුදේ ධීවර පිරිසක් මසුන් අල්ලන බවට ලද තොරතුරක් මත බේරුවල කළුතර ධීවර පරීක්ෂක නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් බේරුවල වෙරළ ආරක්ෂක නිලධාරීන්ගේ සහයා ඇතිව ඊයේ (9) අලුයම කළ වැටලීමක දී බෙන්තොට මුහුදු තීරයේ දී ලියාපදිංචි කළ ඔරුවක් යොදාගෙන තහනම් දැල් ආම්පන්න සහ විදුලි ආලෝක භාවිතා කර මසුන් අල්ලමින් සිටි ධීවරයන් දහ දෙනකු අල්ලන ලද මසුන් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව බේරුවල ධීවර පරික්ෂක කාර්යාලය යේ නිලධාරියෙක් පැවසීය.
කළුතර සහකාර ධීවර අධ්‍යක්ෂක චමිල කහඳවල මහතා ගේ හා ගාල්ල සහකාර ධීවර අධ්‍යක්ෂ රංජිත් ජයසිංහ මහත්වරුන් ගේ උපදෙස් පරිදි බේරුවල ප්‍රාදේශීය ධීවර පරීක්ෂක තනුක ගම්මන්පිල හා ඉන්දික උදුගොඩ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මේ මෙහෙයුම සිදු කර ඇත.
නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ලයිට් කොස් ධීවර කටයුතුවල යෙදුණු කොස්ගොඩ අහුන්ගල්ල බලපිටිය අම්බලන්ගොඩ ප්‍රදේශවල ධීවරයින් 10 දෙනා බේරුවල ධීවර වරාය යාන්ත්‍රික වැඩ පළ ජැටිය (චීන වරාය) වෙත රැගෙන ආ බව එම නිලධාරීහු පැවසූහ.
මෙලෙස තහනම් ධීවර කටයුතුවල නියුතු ව අත්අඩංගුවට පත් ධීවරයන් නඩු භාණ්ඩ සමඟ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ බේරුවල කළුතර කාර්‍යාලය මගින් බේරුවල වෙරළ ආරක්ෂක බලකායට අයත් යාත්‍රාවකින් ගොස් කළ වැටලීමේදී මෙම ධීවරයන් පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීමට බේරුවල වෙරල ආරක්ෂක නිලධාරීන් සමඟ ධීවර පරීක්ෂකවරුන් වන කේ එම් ඒ. පුෂ්පකුමාර , කේ.එල් සි. ජයම්පති, කපිල රණ මුන ගේ යන මහත්වරු එක්ව සිටියහ.