අත්තනගල්ල, නිට්ටඹුව, මීරිගම රුවන්වැල්ල ඇතුළු පොලිස් වසම් ගණනාවකම රන් මාල, යතුරු පැදි ඇතුළු කොල්ල කෑම් ගණනාවකට සම්බන්ධ වසර දාහතරක කාලයක් බන්ධනාගාරගතව සිට පැමිණි කොල්ලකරවකු ඇතුළු කොල්ල කරුවන් දෙදෙනකු පෙරේදා (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පවසයි.
අත්තනගල්ල පල්කුඹුර ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි කොල්ල කරුවන් දෙදෙනකු මහ මග පයින් ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙලට පිහියක් තබා රන් මාලයක් කොල්ල කාගෙන යාම සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව මූලික පරීක්ෂණ පවත්වා සී. සී.ටී. වී. කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කිරීමේ දී යතුරු පැදියේ අංකය හඳුනා ගෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් තොරතුරු ලබා ගැනීමේ දී එය කඩවත ප්‍රදේශයේ එකක් බවට හෙළි වූ බව ද පොලීසිය කීය.
මේ අනුව කඩවත ප්‍රදේශයේ ලිපිනයට ගොස් සොයා බැලීමේ දී යතුරු පැදිය නිවෙසේ නවතා තිබිය දී පසුගිය ඔක්තෝබර් මස 16 වැනි දා රාත්‍රී සොරා ගෙන ගොස් ඇති බවට හෙළි වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් පෙරේදා (08) අත්තනගල්ල ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කරමින් සිටිය දී පුද්ගලයන් දෙදෙනකු ගිය යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේදී කොල්ල කෑම්වලට යොදා ගත් යතුරු පැදිය බවට අනාවරණය වීමෙන් අනතුරුව යතුරු පැදිය සමඟ ඔවුන් දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කිරීමේදී සියලු කොල්ල කෑම්වලට අදාළ තොරතුරු හෙළි කරගෙන තිබිණි.
එසේ අත්අඩංගුවට ගෙන ඇති තිස් හත් හැවිරිදි හා විසි එක් හැවිරිදි සැකකරුවන් දෙදෙනා හංවැල්ල තුන්තාන තුඹුලවිල පදිංචි කරුවන් බවද පොලීසිය කීය.
මොවුන් දෙදෙනා ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී කොල්ලකා ගෙන ගොස් තිබූ රන් මාල දහයක්, සොරා ගෙන ගොස් තිබූ තවත් යතුරු පැදි දෙකක් හා දංඕවිට පොලීසියේ කාන්තා පොලිස් සැරයන් වරියකගෙන් කොල්ල කා ගෙන ගොස් තිබූ රුපියල් හැත්තෑ පන් දහසක් වටිනා ජංගම දුරකතනයක් ද සොයා ගෙන ඇත.
තිස් හත් හැවිරිදි කොල්ලකරු කොල්ල කෑම් නඩු ගණනාවකට වසර දාහතරක කාලයක් බන්ධනාගාර ගතව සිට පැමිණි අයකු බවත් ඔහුට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ පවතින බෝම්බ නඩුවක වරෙන්තු කරුවකු බව ද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
මොවුන් දෙදෙනා දැඩි ලෙස හෙරොයින් හා අයිස් පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් බවත්, අත්තනගල්ල පොලිස් වසමේ දී රන් මාල තුනක්, මීරිගම පොලිස් වසමේ දී රන් මාලයක්, නිට්ටඹුව පොලිස් වසමේ දී කාන්තාවකගේ අත් බෑගයක්, රුවන්වැල්ල පොලිස් වසමේ දී රන් මාල හතරක්, හොරණ පොලිස් වසමේ දී රන් මාල හතරක්, මොරගහහේන ප්‍රදේශයේ දී රන් මාල දෙකක් ද, කුරුවිට ප්‍රදේශයේ දී යතුරු පැදියක් හා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී තවත් යතුරු පැදියක් කොල්ලකා ඇති බවට හෙළි වූ බව ද පොලීසිය කීය.
මෙයට අමතරව කිරිඳිවැල ප්‍රදේශයේ නිවසක් හා වෙළඳ හලක් කඩා රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.
කඩවත ප්‍රදේශයේ නිවසකින් සොරා ගත් යතුරු පැදියෙන් ගොස් කොල්ල කෑම් සිදු කොට ඇති බවත්, එසේ කොල්ලකා ගෙන ගොස් තිබූ රන් මාලවලින් රන් මාල දහයක් උකස් කර තිබිය දී සොයා ගත් බවත්, කොල්ල කා ගෙන ගොස් තිබූ අනෙක් යතුරු පැදි දෙක ද සගවා තිබිය දී හා පොලිස් සැරයන්වරිය ගේ ජංගම දුරකථනය මොවුන් සන්තකයේ තිබිය දී සොයා ගත් බවත් ඉතිරි භාණ්ඩ සොයා ගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බවද පොලීසිය කීය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා ගම්පහ සහකාර පොලිස් අධිකාරී උපාලි කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතාගේ මෙහෙය වීම යටතේ එහි පොලිස් පරීක්ෂක තෙන්නකෝන්, පොලිස් කොස්තාපල් වරුන් වන රාජපක්ෂ (12015), සිල්වා (23105), දිල්ෂාන් (97270), චමීර (93451) හා පොලිස් කොස්තාපල් රියදුරු අතාවුද (99000) යන මහත්වරු වැටලීමට සහභාගි වූහ.