වතුපිටිවල ඇඟලුම් කම්හලක කාන්තා නේවාසිකාගාරයක් පෙරේදා (08) පස්වරුවේ කඩා රූපවාහිනී යන්ත්‍ර දෙකක් ඇතුළු රුපියල් ලක්ෂ හතරකට වඩා වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සොරා ගෙන ගොස් සිටි සොරෙකු ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන සොරා ගෙන තිබූ සියලුම භාණ්ඩ ද සොයා ගැනීමට හැකි වූ බව නිට්ටඹුව පොලිසිය කියයි.
වතුපිටිවල ඇඟලුම් කම්හලකට අයත් කාන්තා නේවාසිකාගාරයක් පෙරේදා (08) පස්වරුවේ කිසිවෙකු නොමැති අවස්ථාවක කඩා රූපවාහිනී යන්ත්‍ර දෙකක්, විදුලි උඳුනක්, වතුර මෝටරයක් හා විදුලි කේතලයක් ඇතුළු රුපියල් ලක්ෂ හතරකට වඩා වැඩි භාණ්ඩ තොගයක් සොරා ගෙන ගොස් තිබිණ.
මේ පිළිබඳව ලද පොලිස් බුද්ධි තොරතුරකට අනුව නිට්ටඹුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත හා එහි පොලිස් පරීක්ෂක අතුල මැදවැව යන මහත්වරු ප්රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් මාතලාන ප්‍රදේශයේ නිෙවසක් වටලා සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරා ගෙන ගොස් තිබූ සියලු භාණ්ඩ සගවා තිබියදී සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සොරා හෙරොයින් නඩු කිහිපයක ඇප මත සිටින පුද්ගලයෙකු බවට වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත, පොලිස් පරීක්ෂක අතුල මැදවැව, උප පොලිස් පරීක්ෂක විදුරංග, පොලිස් සැරයන්වරුන් වන දයාවංශ (26443), වසන්ත (64885), පොලිස් කොස්තාපල් වසන්ත (79839, කාන්තා පොලිස් සැරයන් මංජුලා (3618) හා කාන්තා පොලිස් කොස්තාපල් දර්ශනී (7512) යන මහත්ම මහත්මීහු වැටලීමට සහභාගි වූහ.