ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා සහ ක්‍රිස්ටෝපර් කොලොම්බස් නොමැති වූයේ නම්, නූතන යුරෝපය සීනි රස විඳිනු ඇත්තේ ‘අල්ලේ කන’ තත්ත්වයෙනි. ඉන්දු නදිය අසලින් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට නැවතීමට සිදු වූයේ, ඊට එහාට අඩිය තබන්නට ඔහුගේ සේනාව අකමැත්ත පළ කළ නිසාය. භාරත ජනයා උක් වගා කරන ආකාරය නවාතැන් ගෙන සිටි භට පිරිස මෙහිදී දුටහ. ශක්‍ර හා සක්කුරුම් ලෙස ශබ්ද කරන ලුණු වැනි පැණි රස ‘කැට කුඩු වර්ගයක්’ දුටු භටයෝ, එහි රසයෙන් මත්ව ඒවා නිපදවන උක් දඬු සිය ගම් රට බලා ද රැගෙන ආහ. යුරෝපයට උක් ආවේ එහෙමය. මේ කාලයේ යුරෝපාකරය සීනි ගැන දැන උන්නේ නැත. උක් නම අසා තිබුණේ ද නැත. ස්වාභාවික පැණි හෙවත් මී පැණි ආදිය මඟින් ‘පැණි රසය’ අත්දුටු ඔවුහු එතැන් සිට සීනි රස විඳින්නට පටන් ගත්හ.
ඇලෙක්සැන්ඩර්ගේ සේනාව වැනීසියේ ග්‍රාමයක් අත්පත් කරගෙන යුරෝපය සඳහා සීනි නිපදවීමට පටන් ගත්තෝය. කුරුස යුද්ධයේ වාර්තාකරුවෙකු වන ට්‍රෙයිහි විලියම්, 12 වන සියවසේ අග ලියන ලද්දේ “ සීනි මිනිස් වර්ගයාට ප්‍රයෝජනයට සහ සෞඛ්‍යයට ඉතාමත් අවශ්‍යය” යන්නය.
1942 අගෝස්තු මාසයේ කැනේරි දූපත්හි, ලා ගොමේරා ප්‍රදේශයේ කොලොම්බස් නවාතැන් ගන්නේ වයින් හා වතුර ලබා ගැනීමටය. දූපතේ පාලිකාව වන බියට්‍රිස් දුටු, සල්ලාල කොලොම්බස් ඇය සමඟ හුටපටයක් පටන් ගත්තේය. දින දෙක තුනේ ගමන, මාසයක් බවට පත්ව එහි නවාතැන් ගත් හේ වෙත, මියුරු පෙම් මදිරා සමඟ ඕ තොමෝ ආදරයේ සිහිවටනයක් ලෙස උක් දඬු තෑගි කළාය.
එහෙම ආපු සීනි අද යුරෝපයේ ජනගහනයෙන් මිලියන හැටක් දියවැඩියා ලෙඩ්ඩු බවට පත් කර හමාරය. එය ප්‍රතිශතයක් ලෙස 10% ඉක්මවා තිබේ. ලෝක දියවැඩියා දිනය අදට යෙදී ඇති බැවින් නොව වැඩි ලාභය පතා සීනි හංගා ගෙන පිරිසක් රඟන හෙයින් මේ තීරුව අද ‘සීනි ගෝණිය කරට ගන්නේය’.
ආණ්ඩුව සීනි බද්ද වැඩි කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී ඒ ගැන වහාම ව්‍යාපාරික ප්‍රජාව දැන ගත්තේය. කැබිනට් එකවත් දන්නේ නැති රහස් රේගුව හරහා ව්‍යාපාරිකයන් වෙත එහෙම ලැබෙනවා කියන්නේ බදු ගැසීමෙන් ලැබෙන වාසිය ආණ්ඩුවට නොව, බිස්නස්කාරයා වෙත යන බවය. සීනි සඳහා බදු සංශෝධනයක් සිදු කර ඇති හෙයින් තමන්ට එයින් වාසියක් ලබා ගැනීමේ අරමුණ මහා පරිමාණ ව්‍යාපාරිකයා වෙත ඇත්තේය. බද්ද වැඩි කරන බව කලින් දන්නා හෙයින් වහ වහා වෙනත් රටක් කරා ඇදෙන සීනි නැවක් මෙහෙට හරවාගෙන බාගත්ත ද වාසිය. සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද රුපියල් 50 දක්වා වැඩි වෙනවා කියන්නේ ‘ඉක්මනට ලෝඩ් එකක් පාක් කර ගත්තේ නම්’ ගොඩ බවය.
සීනි බද්ද වැඩි කිරීමට දවස් දෙකකට කලින් ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවෙක් සත විසිපහේ බද්ද යටතේ සීනි මෙට්‍රික් ටොන් 8000ක් ගෙන්වා තිබුණි. ඒ කියන්නේ බද්ද වැඩි කිරීමට කලින් බඩු ගෙන්වා, වැඩි බද්ද ගැසූ පසු ‘වල් වාසිය’ ලබා ගැනීම සඳහා වන ඔත්තුව ඔහුට ලැබී ඇති බවය.
සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා රුපියල් 50ක බද්දක් කලින් පැවතියේය. මේ බද්ද 2020 ඔක්තෝබර් 14 සිට ආණ්ඩුව විසින් ශත 25 දක්වා අඩු කළේය. මේ අඩු කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි දසදහසකට වැඩි ආදායමක් අහිමි වී ගියේය. දැන් යළිත් බද්ද තිබූ පරිදි පනවා ඇත්තේය. ඒ අතරේ ළඟ වාසිය ගෙන ආනයනකරුවෙක් පරණ බද්දට බඩු තොගයක් බා ගත්තේය.
මේ දවස්වල ගමේ කඩේ මුදලාලි වෙත තොග කඩයෙන් සීනි දෙන්නේ නැත. වහාම හිඟයක් මවනු ලබන්නේ අලුත් මිලට බඩු නිකුත් කිරීමටය. ඒ අනුව දැන් සීනි තොගය එළියට එනු ඇත්තේ නව මිල යටතේය. ආණ්ඩුවක් බද්දක් මඟින් ආර්ථිකය බැලන්ස් කරන්නේය. එහෙම නැතුව හොර පාරෙන් ඔත්තු ලබා ගෙන මුදලාලිලාට ගොඩ යන්නට ආණ්ඩුව බදු ගසන්නේ නැත. මෙහෙම හංගාගෙන ඉන්න සීනි තොග ගබඩා කඩා එළියට ගැනීමට පාරිභෝගික අධිකාරිය දැන් සැරසී සිටියි. එහෙම වුණාට ගබඩා ඇත්තේ කොහේදැයි සොයා ගැනීම පහසු නැත. හදිස්සියකදී සැඟවීම සඳහා මේ ගබඩා ඉදි කර ඇති හෙයින් ඒවායේ රෙජිස්ටරයක් නැත්තේය. කසිප්පු පොළට පොලිසිය පනිනවා සේ දන්න කියන හැම ගබඩාවකටම පැන පැන බඩු සෙවීමට තරමේ යන්ත්‍රණයක් පාරිභෝගික අධිකාරියට නැත. මේ සියල්ලේ ‘සම් එක’ වන්නේ එක්ස්පෝර්ටර් ගොඩ බවය.
පාලන මිලට දැන් සීනි ගත හැක්කේ මුළුතැන්ගෙයි ඇති බෝතලයෙන් පමණය. ඊයේ මේ තීරුව අවධාරණය කළේ කීරි සම්බා හංගාගෙන මිල නංවන ආකාරයය. දැන් සීනිය. ඔහොම බලනකොට අපි පාලනය වන්නේ සර්වජන ඡන්දයෙන් පත් වෙන ආණ්ඩුවෙන් නොව, මුදාලාලි වැයික්කියෙන්ය.
ඊයේ ඉදිරිපත් කරන ලද්දේ මේ රටේ අභියෝගාත්මකම අය වැයකි. තාම රට බංකොලොත් හෙයින් ඒ ලේබලයෙන් රට මුදා ගැනීම අය වැයේ පළමු අභියෝගය වී තිබුණි. රටේ නායකයා සහ ආණ්ඩුව එහෙම චැලේන්ජ්වලට ෆේස් කරන කල්හි මෙහෙම බඩු හංගන අයියලා ගැන අපි හැකි ආකාරයට බලා ගත යුතු වෙමු.