අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා දිනයේ මෙවර තේමාව වන්නේ, ‘අවදානම දැනගෙන ප්‍රතිචාර දක්වන්න…’ යන්නයි. එනම්, Know your risk, Know your response යන්නයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය (WHO Steps Survey) විසින් මෑත දී කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් වයස අවුරුදු 18 ට වැඩි 15%කට දියවැඩියාව වැළඳී ඇති බව සොයාගෙන තිබේ.
ඊට සාපේක්ෂව විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායමක් විසින් නගර ඉලක්ක කරගෙන සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව 30% දක්වා වර්ධනය වී ඇති බවයි. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික් ජනගහනයෙන් සෑම තුන් දෙනකුගෙන් එක් අයෙකු ම දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව පෙනේ.
විශේෂයෙන් ජනතාව එසේ බහුලව ගොදුරු වී ඇත්තේ, දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය සඳහා ය. මේ ආකාරයට කෙටි කාලයක් තුළ ජනතාව ශීඝ්‍රයෙන් දියවැඩියාවට ගොදුරු වීමේ හේතු සහ ඉන් මිදිය යුතු ආකාරය පිළිබඳ, ජාතික රෝහලේ දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති, මනිල්ක සුමනතිලක මහතා ගෙන් විමසූයෙමු.
“මේ සියලු සමීක්ෂණවලට අනුව බලන විට, ජනතාව ශීඝ්‍ර වර්ධනයකින් දියවැඩියාවට ගොදුරු වීමේ හේතුව ලෙස හඳුනාගත හැකි වූයේ, ඔවුන්ගේ වෙනස් වන ජීවන රටාවයි. එන්න එන්නම වයස අඩු අයත් මේ රෝගයට ගොදුරු වීම සහ දරුවන් තුළ සුලබ වෙමින් පැවතීම, දැන් දැන් බහුලව දකින්නට ලැබෙන තත්ත්වයක්.
විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් පසුව මේ තත්ත්වයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. රටේ පවතින ආර්ථික අවපාතය වැනි තත්ත්වයක් තුළ පවා ජනතාව දියවැඩියා රෝගයට ගොදුරු වන්නේ ඇයි? ආහාර අඩුවෙන් ගන්නවා නම් දියවැඩියාවත් අඩු විය යුතු යැයි කෙනෙකුට සිතුණත්, මෙහි සැඟව තිබෙන ප්‍රධාන රහස ලෙස අපට සොයා ගත හැකි වූයේ ජනතාව හොඳ ආහාර පුරුදුවලින් ඈත් වෙමින් පැවතීමයි. සමබල පෝෂදායි ආහාර වෙනුවට බඩ පිරෙන පිෂ්ඨය සහිත දේට පෙළැඹී ඇති බවයි. ඒ කියන්නේ, කලින් හොඳින් එළවළු කිහිපයක්, මස් මාළු සහ බිත්තර සමග බත් වේලක් ආහාරයට ගත් ජනතාව ගෙන් බහුතරයක් දැන් අඩු වියදමකින් බඩ පුරවා ගත හැකි පිටි ආහාරවලට පෙළැඹී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒවායේ මිල ඉහළ යෑම නිසා, දරා ගත හැකි මිලකට තවමත් ඔවුන්ට ගන්නට හැකියාව තිබෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහිත පිටි ආහාර පමණක් වන නිසා ජනතාව ඊට පෙළැඹී ඇති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා දැන් ජනතාවට කියලා වැඩක් නැහැ පිඟානෙන් කාලක් බත් කාලා එළවළු දෙක තුනක් සහ මස් මාළු බිත්තර ආහාරයට ගන්න කියා. කිව්වට බහුතරයකට එසේ කරන්න බැරි තත්ත්වයක් තුළ මේ සඳහා විසඳුමක් සෙවීමයි වැදගත්.
පෝෂදායි සමබර ආහාර වේලෙන් ඉවත්වෙලා, ලාබෙට කන්න පුළුවන් ආහාරවලට ඇති පෙළඹීම තුළ දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම අප රටක් විදියට අවබෝධ කරගත යුතුයි. නැත්නම් මෙය ඛේදවාචකයක් දක්වා දිවෙන්නට පුළුවන්. ඒ නිසා මෙය අප සුළුවට තැකිය යුතු නැහැ. කරන්න පුළුවන් දේවල් මොනවාදැයි සොයා බැලීම ඉතා වැදගත්.
ප්‍රධානකොටම ගෙදර දීම වවා ආහාරයට ගත හැකි කරවිල, බණ්ඩක්කා, ගොටුකොළ, වැටකොළු, පතෝල, කොහිල… වැනි කෙඳි සහිත එළවළු වර්ග වැඩිපුර ආහාර වේලට එක්කර ගැනීම ඉතාම වැදගත්.
ඒ වගේම සුලභව පුරුදු වී සිටින අල, බතල, මඤ්ඤොක්කා වැනි දේ වැඩිපුර නොගැනීමත්, කැරට් බීට් වැනි එළවළු අඩුවෙන් ආහාරයට ගැනීමත් වැදගත්. දැනට ගන්නා පිෂ්ඨය ප්‍රමාණය අඩු කිරීම වගේම ව්‍යායාම කිරීමෙනුත් ශරීරය තුළ තිබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය දවාලිය හැකියි. දැනට දියවැඩියාව තිබෙන අයත් හෘදයාබාධ සහ අධි රුධිර පීඩනය තිබෙන අයත් වෛද්‍ය උපදෙස් මත මේ ව්‍යායාම සිදු කිරීම කළ යුතුයි.
ඒ වගේම, පුළුවන් තරම් උසට සරිලන බර හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය (BMI අගය ) පවත්වා ගෙන යන්නට සෑම කෙනකුම අවධානය යොමු කළ යුතුයි.
ඒ වගේම මානසික ආතතිය අවම කර ගැනීම සඳහා අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා තමන්ට කළ හැකි මනසට සුවදායි විනෝදාංශයක් සහ ක්‍රියාකාරකමක් සඳහා යොමු වීම ඉතාම වැදගත්.
දියවැඩියාව වැළඳුනු කෙනකුට එය සුවකර ගත හැකිද යන ප්‍රශ්නය බොහෝ දෙනකුට තිබෙනවා. ඇත්තම කතාව, එය නිට්ටාවට සුව කර ගත නොහැකි තත්ත්වයක් වුණත් ආහාර පාලනය සහ නිසි ක්‍රියාකාරී ජීවිතයකට හුරු වීම තුළ සෑහෙන කාලයකට බෙහෙත් නොගෙන පාලනය කර ගැනීමේ හැකියාව පවතිනවා. එම ක්‍රියා පිළිවෙත් දියවැඩියාව පාලනයේ දී ඖෂධ පිළිවෙතක් හා සමානයි. ඇත්තටම දියවැඩියාව නිට්ටාවට සුව කළ හැකි යැයි මිත්‍යාවක සිටියහොත් බොහෝ අය මේ රෝගී තත්ත්වය නොසලකා හැර, බෙහෙත් නොගෙන හිඳ රෝගය උත්සන්න වූ විට තමයි ප්‍රතිකාර සඳහා යොමු වන්නේ. එය ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
මොකද, දියවැඩියාව වැළඳී අවුරුදු පහක් ඇතුළත අයට විශේෂ වෛද්‍ය උපදෙස් සහ බෙහෙත් වට්ටෝරු මගින් දියවැඩියාව ආ පිට හැර වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම, එක්වරම සීනි නැඟි බවක් හඳුනා ගත් අයටත් මුල් අවස්ථාවේ හඳුනා ගත හොත් ආරම්භ කළ හැකි ඉන්සියුලින් ප්‍රතිකර්ම මගින් සෑහෙන කාලයකට අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය යළි පණ නංවන්නට හැකියාව තිබෙනවා. මේ සියල්ල ක්‍රියාත්මක කිරීමට නම්, රෝග ලක්ෂණ හඳුනා ගත් මුල් අවස්ථාවේ ම වෛද්‍යවරයකු මුණ ගැසීමයි කළ යුතු වන්නේ.
ඒ වගේම, අධි ස්ථුලතාව ඇති එනම්, ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI අගය 40 ට වැඩි අයටත් ආමාශය කුඩා කිරීම වැනි ශල්‍යකර්ම සිදු කර ස්ථුලතාව අඩු කර, දියවැඩියාව වළක්වා ගැනීමේ ක්‍රමවේද තිබෙනවා. එවැනි ක්‍රියාකාරකම් දැනටත් රෝහල්වල සිදු කෙරෙනවා.
වසරකට වරක් කළ යුතු ඇස්, පාද, වකුගඩු ආදී පරීක්ෂණ ටික කර ගෙන තමන් තමන්ගේ ශරීරය පිළිබඳ අවධානයෙන් සිටිනවා නම් දියවැඩියා රෝගියකුට වුවත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනවා. කනගාටුදායක කාරණය වන්නේ, මුල් කාලය පහු කර අවුරුදු හය හතක් ගියාට පසු ප්‍රතිකාර ආරම්භ කිරීම එතරම් සාර්ථක වන්නේ නැහැ. මෙවර තේමාවෙන් කියැවෙනවා වගේ, තමන්ගේ අවදානම දැනගෙන ප්‍රතිචාර දැක්වීම තමයි මේ රෝගය වළක්වා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය.
රජයේ රෝහල්වල 1,000කට ආසන්න ‘සුව දිවි’ සායනවලින් වයස 35 ට වැඩි ඕනෑම කෙනකුට මෙම මූලික පරීක්ෂණ ටික නොමිලයේ කරගන්නට පුළුවන්. ඒ වගේම, මවුපියන්ට රෝග ඉතිහාසයක් තිබේ නම් හෝ වෙනත් බෝ නොවන රෝගයක් තිබේ නම්, වයස 20- 35 අතර අයටත් මෙම පරීක්ෂණ ටික ළඟම රජයේ රෝහලෙන් කර ගැනීමට පුළුවන්.
රටක් හැටියට අප තල්ලු වෙමින් පවතින මේ දියවැඩියා රෝගය වසංගතයක් බවට පත් වන්නට නොදී, පාලනය කර ගත්තොත් පමණයි සුවදායි ජීවිතයක් ගත කරන්නට වගේම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ සහ සැත්කම් සඳහා වැය වන මහා ධනස්කන්ධයෙන් රටේ ආර්ථිකයට සහනයක් ලැබෙන්නේ කියන එක, ජනතාවත් අවබෝධ කරගත යුතුය…”
ඉනෝකා පෙරේරා බණ්ඩාර