Home » මේ කලාකරුවන්ට පිදෙන ජාතියේ උත්තමාචාරයයි -ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න

මේ කලාකරුවන්ට පිදෙන ජාතියේ උත්තමාචාරයයි -ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න

by sachintha
November 14, 2023 12:17 am 0 comment

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සිනමා සම්මාන උලෙළ අදයි. මේ, ජනාධිපති සිනමා සම්මාන උලෙළ 14 වැනි අද දින සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වේ. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ 70 දශකයේ මුල භාගයේදී බිහි වූ ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උලෙළේ ආරම්භය සිදු වී ඇත්තේ 1979 වර්ෂයේදීය. එයට පුරෝගාමී වූයේ එවකට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය හෙබ වූ ඇන්ටන් වික්‍රමසිංහයන්ය. එතුමන්ගේ සංකල්පයට අනුව ආරම්භ වුණු මෙම සිනමා උලෙළ අඛණ්ඩව වර්ෂයක් පාසා පැවැත්වීමට නොහැකි විය. මෙරට විවිධ අවස්ථාවන්හි මුහුණ දුන් සමාජ ආර්ථික, දේශපාලනික හේතුන් මත යම් යම් අවස්ථාවන්හිදී එය පැවැත්වීමට නොහැකි විය. කෙසේ වෙතත් මෙවර ජනාධිපති සම්මාන උලෙළක් පැවැත්වෙයි. ඒ පිළිබඳ චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න සමඟ කළ කතාබහයි මේ.

l වසර 5ට පසුව පැවැත්වෙන මෙවර සම්මාන උළෙලේ නවාංගයන් මොනවාද?

අපි අවසන් වරට ජනාධිපති සිනමා සම්මාන උලෙළ පවත්වා තිබෙන්නේ 2019 වර්ෂයේදීයි. එවර අපි සම්මාන ප්‍රධානය සඳහා සලකා බැලුවේ 2016, 2017 සහ 2018 යන වර්ෂයන්හි තිරගත වූ චිත්‍රපට, ඉන්පසු වසර 4ක් යන තුරු අපට සිනමා උලෙළ පවත්වන්න නොහැකි වුණා. ඒකට මේ රටේ පැවතුණු කොරෝනා වාතාවරණය වගේම, ආර්ථික අර්බුදයන් නොයෙක් ආකාරයට බලපෑවා. කොහොම නමුත්, නිහැඬියවකින් පසු නැවතත් සම්මාන උලෙළ පැවැත්වීම තමයි මෙතනදී වඩාත් වැදගත් වන්නේ.

සුපුරුදු පරිදි අපි ප්‍රදානය කරනු ලබන සම්මාන මෙවරත් ප්‍රදානය කරනු ලැබනවා. ඒ අනුව හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම තිර රචක, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම සහය නිළිය, හොඳම කැමරා අධ්‍යක්ෂ, හොඳම සංගීත අධ්‍යක්ෂ, හොඳම ගීත රචක, හොඳම ගී තනුව, හොඳම පසුබිම් ගායකයා, හොඳම පසුබිම් ගායිකාව, හොඳම ශබ්ද සැලසුම් ශිල්පී, හොඳම සංස්කරණ ශිල්පී, හොඳම කලා අධ්‍යක්ෂ, හොඳම වේශ නිරූපණ ශිල්පී, හොඳම නැඟී එන නළුවා, හොඳම නැඟී එන නිළිය උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද චිත්‍රපටය ජූරියේ විශේෂ සම්මානය, ජූරියේ කුසලතා සම්මානය යන ප්‍රධාන සම්මාන පිරිනමනු ලබනවා. ඊට අමතරව අපේ ප්‍රවීණතම සිනමා ශිල්පීන් වෙනුවෙන් සහ ජාත්‍යන්තර වශයෙන් මෙරටට සම්මාන ගෙන දුන් සිනමා ශිල්පීන් වෙනුවෙන් පුරෝගාමී සම්මානය, ස්වර්ණසිංහ සම්මානය සහ විශ්ව කීර්ති සම්මානය පිරිනමනු ලබනවා. ඒ වගේම ආරම්භක යුගයේ සිටම මේ සම්මානත් සමඟ අපි අතිවිශාල මුදල් ත්‍යගයන් ද පිරිනැමුවා. ඒ අනුව මෙවරත් අපි ලක්ෂ 70ට වැඩි මුදලක් මේ මුදල් ත්‍යාග වශයෙන් පිරිනමනවා.

l ශ්‍රී ලංකාවේ රජයේ මැදිහත් වීමෙන් පවත්වන එකම සිනමා සම්මාන උලෙළ මෙයයි. මේ පිළිබඳ ජාතික චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා ලෙසට ඔබේ අදහස කුමක්ද?

1972 වර්ෂයේ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කරන විටම එහි පරමාර්ථය වූයේ, මෙයින් කලාකරුවන් නිසි අගය කිරිමකට ලක් කිරීමයි. ඒ නිසා මේ සිදු කරන ක්‍රියාදමය අත්‍යවශ්‍යයෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිදු කළ යුතුයි. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මමත්, චිත්‍රපට සංස්ථාවේ සෙසු නිලධාරිනුත් මෙය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. අපේ සිනමා ක්ෂේත්‍රයේ සිටින දක්ෂයින් ඇගයීම මෙන්ම ප්‍රවීණත්වයෙන් ඉහළ දක්ෂයින් නිසි ගෞරව බහුමානයට ලක්කරන්න අපි අනිවාර්යයෙන් බැඳී සිටිනවා. ඒක සංස්ථාවට පැවරී තිබෙන කාර්ය භාරයක්. ඒ නිසා වසර 4කට පසුව මේ පවත්වනු ලබන 20 වැනි ජනාධිපති සම්මාන උලෙළ අපි පවත්වන්නේ අපට පැවරී තිබෙන කාර්ය භාරයක් ඉෂ්ට සිද්ධ කිරීමටයි.

l ඔබ මේ පවත්වනු ලබන්නේ 20 වැනි ජනාධිපති සම්මාන උලෙළයි. මේ පිළිබඳ ඔබට යමක් කියන්නට ඇති?

සත්‍ය වශයෙන්ම මට ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා. අපේ සිනමාවේ දක්ෂයින්, ප්‍රවීණයින් මෙසේ ඇගයීමට ලක් කරන්න ලැබීම පිළිබඳව. ජනාධිපති සම්මානයක් කියන්නේ කලාකරුවෙකුගේ ජීවිතයේ ලැබිය හැකි සුවිශේෂීම සම්මානයක්. මෙම උලෙළ පැවැත්වීමේදී චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මට සුවිශේෂී මඟ පෙන්වීමක් වත්මන් ජනමාධ්‍ය ඇමැතිතුමා වන ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගෙන් ලැබුණා. එතුමන්ගේ මඟ පෙන්වීම, සහයෝගය නිසා තමයි, මේ ආකාරයට මේ සම්මාන උළෙල පවත්වන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම තමයි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මැතිතුමාගේ මැදිහත්වීම, අධීක්ෂණය නිරන්තරයෙන් මේ වෙනුවෙන් ලැබුණා. ඒ වගේම සංස්ථාවේ නිලධාරී මණ්ඩලයෙන් මේ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සියෙන් කටයුතු කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මෙවර සම්මාන උලෙළ සාර්ථකව අපට සංවිධානය කර ගන්න ලැබේවි කියලා.

මීට ප්‍රථම මම චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරය හෙබ වූ කාලයේත් සම්මාන උලෙළක් පැවැත්වූවා. ඒ 2014 වසරේ පැවැත්වූ 18 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ. වරින් වර අපට දීර්ඝ කාලීනව, අඛණ්ඩව මෙම සම්මාන උලෙළ පවත්වාගෙන ඒමට විවිධ බාධා ඇති වී තිබුණා. ඒකට විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික හේතු බලපාලා තිබෙනවා. ඒක අපට විතරක් නෙමෙයි. බොහෝ දෙනකුට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න. නමුත්, මේ සියල්ලට මුහුණ දීගෙන අපි කොහොමහරි මෙවර සම්මාන උලෙළක් සංවිධානය කළා.

l විනිශ්චය මණ්ඩලය තෝරා ගැනීමේදී සැලකිලිමත් වූ නිර්ණායකයන් කවරේද?

ප්‍රධාන වශයෙන් අපි බලාපොරොතු වුණේ, සිනමාව පිළිබඳ මනා දැනුමක්, අවබෝධයක්, අත්දැකීමක් ඇති පිරිසක් මේ වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමයි. අපට සම්බන්ධ වූ සියලු දෙනාම මේ විෂය පිළිබඳ ප්‍රාමාණික උගතුන්. අත්දැකීම් ඇත්තන් විනිශ්චය මණ්ඩලය වශයෙන් 7දෙනෙකුගෙන් යුතු මණ්ඩලයක්. මේ සඳහා සම්බන්ධ වූ බොහෝ දෙනා තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් සිනමාව වෙනුවෙන්ම කටයුතු කළ අය. සමහරුන් ඒ පිළිබඳව ශාස්ත්‍රීයව හදාරමින්, පර්යේෂණ කටයුතුවල නියුතු වුණු අයයි. මේ නිසා මේ හැම දෙනාම ඉතාම අපක්ෂපාතීව, නිවැරැදි තීන්දු තීරණ අපට ලබා දුන්නා කියලා අපි විශ්වාස කරනවා.

l මෙවර සම්මාන ප්‍රදානය කරනු ලැබුවේ 2019 වසරේ සහ 2020 වසරේ තිරගත වූ චිත්‍රපට උදෙසායි?

ඔව්. වසර දෙකට සම්මාන වෙන වෙනම ප්‍රදානය වෙනවා. ඒ නිසා වසර දෙකට එක සම්මාන උලෙළක් සූදානම් කළාට මේ කිසිවෙකුටත් ඉන් අසාධාරණයක් සිදු වන්නේ නෑ. ඒ අනුව 2019 වර්ෂය සඳහා අප සලකා බලනුයේ ගින්නෙන් උපන් සීතල, කතා කරන හීන, සිකුරු යෝගය, සංසාරයේ දඩයක්කාරයා, මානය, හුස්ම, ෆේස් ටු ෆේස්, තාල, වැලිපවුරු, සුභා තෙරණියෝ, විජයබා කොල්ලය, රෂ්, විෂම භාග, දැකල පුුරුදු කෙනෙක්, අසන්ධිමිත්තා, සාම කුමරු කතාව, ජය ශ්‍රී ඇම­ැතිතුමා, ප්‍රසිඩන්ට් සුපුර් ස්ටාර්, යූ ටර්න්, නැති බැරි ටාසන්, ඉස්කෝලෙට මං ආවා, තිත්ත ඇත්ත, ගෝරි, රී ලෝඩ්, සංගිලි, සුළඟ අප රැගෙන යාවි, එක රෑනක කුරුල්ලෝ, සකී parthepa (local tamil) උලෙලේනි යන චිත්‍රපට 30යි.

2020 වසර වෙනුවෙන් සුපර්ණා, පාංශු, මිස් ජෙනිස්, සුනාමි, ද නිව්ස් පේපර්, රූකඩ පැංචි, ද හෝන්, ඇවිළෙන සුලුයි. සූස්ති, ඊතලය, සේද මාවතේ, ෂෙලීනා යන චිත්‍රපට 12ත් සලකා බැලුණා. මේ වසර දෙකට අදාළව චිත්‍රපට 7ක් අපට ලබා ගත නොහැකි වුණා.

හේමාලි විජේරත්න

ජායාරූපය – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT