පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල
“විද්‍යාත්මක පර්යේෂණ සඳහා සාමාන්‍ය ජනතාව ගෞරවනීය පාර්ශ්වකරුවන් බවට පත් කර ගැනීම වත්මන් ලෝක ප්‍රවණතාවයි. ජීවන අත්දැකීම් ඔස්සේ පොදු ජනතාව සතු දැනුම අපේ කෘෂි පර්යේෂණ සඳහා එක් කර ගැනීම දිරිමත් කළ යුතු යැයි පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා පැවසීය. ඒ අදහස් පළ කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයේදී පසුගියදා (11) පැවැති වැඩමුළුවකදීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය සංවිධාන කරන 35 වැනි වාර්ෂික පර්යේෂණ සැසියට සමගාමීව මේ වැඩමුළුව සංවිධාන කර තිබිණි. පර්යේෂණ සහ සංවර්ධන ආයතනය සහ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය එක්ව සංවිධාන කළ මේ වැඩමුළුවේ තේමාව වූයේ ‘කෘෂි පර්යේෂණ සඳහා ප්‍රජා සහභාගිත්වය හා දායකත්වය’ යන්නයි. මේ වැඩමුළුවට එක්සත් රාජධානියේ සෞඛ්‍ය පර්යේෂණ අධිකාරියේ ආචාර්ය ජිම් එලියට්, වැලි මැස්සා මඟින් පැතිරෙන ක්‍යුටේනියස් ලීෂ්මොනායිෂස් රෝගය පිළිබඳ කෙරෙන පර්යේෂණයන් මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක් වන ආචාර්ය තිලිනි අගම්පොඩි, විශේෂඥ ප්‍රජා වෛද්‍ය ප්‍රභාත් රණසිංහ, පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ සභාපති ආචාර්ය ගොඩ්වින් කොඩිතුවක්කු සහ රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දුමින්ද ගුරුගේ ඇතුළු සම්පත් දායකයන් පිරිසක් මේ වැඩමුළුවට එක්වූහ. වැඩමුළුවට ශ්‍රී ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලයන්හි සේවයේ නියුතු පර්යේෂකයන් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන් පිරිසක් එක්ව සිටියහ.