ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය තුළ වියදම් සීමා කර ගැනීම පිළිබඳ අභියෝගය අප සැමට පවතිනවා. වසර 75ක ඉතිහාසය තුළ ආර්ථිකය ඍණ 8ක අගයක් ගත් එකම වර්ෂය පසුගිය වසරයි. ආර්ථිකයේ සියලු අංශ හැකිළීමට ලක්ව තිබෙනවා. මාර්ග ඇතුළු සංවර්ධන කටයුතු ඇනහිට තිබෙනවා. රටක් වශයෙන් සෑම කෙනකුම මේ ගැටලුවට මුහුණපා සිටිනවා. මේ හේතුවෙන් කොවිඩ් වසංගතයෙන් අනතුරුව පසුගිය වසර තුන තුළ කිසිදු ඵලදායි සංවර්ධන ව්‍යාපෘති කිසිවක් රට තුළ සිදු වූයේ නැහැ. මීට පෙර සිදු කළ ආකාරයට වියදම් දැරීමේ හැකියාවක් මේ වන විට රජයට නැහැ.-ඇමති බන්දුල ගුණවර්ධන
වසර 40ක දේශපාලන ඉතිහාසය තුළ, ඉදිරි සැලසුම් සඳහා ප්‍රාථමික මට්ටමින් පවා අදහස් ලබා ගන්නා අමාත්‍යවරයකු දුටුවේ පළමු වරට යැයි උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පැවසුවේය.
2024 වසර වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රවාහන සහ මාර්ග සැලසුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේ ඒ මහතා මේ බව කීවේය.
වැඩසටහන තුළ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රදේශයේ මාර්ගවල පවතින තත්ත්වය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව කරුණු පැහැදිලි කළ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ප්‍රදේශයට අදාළ සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී. ලංකා ගමනාගමන මණ්ඩලය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන රැසක 2024 වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණු අතර, ඒ සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අවධානයට යොමු කර එහි අනුමැතිය සමඟ ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රායෝගික බව ද මෙහිදී අවධාරණය විය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පවතින ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය තුළ වියදම් සීමා කර ගැනීම පිළිබඳ අභියෝගය අප සැමට පවතිනවා. වසර 75ක ඉතිහාසය තුළ ආර්ථිකය ඍණ 8ක අගයක් ගත් එකම වර්ෂය පසුගිය වසරයි. ආර්ථිකයේ සියලු අංශ හැකිළීමට ලක්ව තිබෙනවා. මාර්ග ඇතුළු සංවර්ධන කටයුතු ඇනහිට තිබෙනවා. රටක් වශයෙන් සෑම කෙනකුම මේ ගැටලුවට මුහුණපා සිටිනවා. මේ හේතුවෙන් කොවිඩ් වසංගතයෙන් අනතුරුව පසුගිය වසර තුන තුළ කිසිදු ඵලදායි සංවර්ධන ව්‍යාපෘති කිසිවක් රට තුළ සිදු වූයේ නැහැ. මීට පෙර සිදු කළ ආකාරයට වියදම් දැරීමේ හැකියාවක් මේ වන විට රජයට නැහැ.
රාජ්‍ය බදු ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමෙන් අනතුරුව ණය පොලී ගෙවීම් ඇතුළු අනෙකුත් සියලුම කටයුතු සඳහා මුදල් වැය කර තිබෙන්නේ ණය ලබා ගැනීම තුළින්. පවතින ණය ප්‍රතිව්‍යුහගත කර ගන්නාතුරු කිසිදු ජාත්‍යන්තර ආයතනයකින් නැවත ණය ලබා ගැනීමට හැකියාවක් නැහැ.
මේ හේතුන් මත කොතරම් අවදානම් තත්ත්වයක මාර්ග, පාලම් ඇතුළු ඉදිකිරීම් පැවතුණත්,අඩක් නිම කළ ව්‍යාපෘති පැවතුණත්, ඒවා නිමකිරීම සඳහා විදේශ ආධාර ලබාදුන් ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු සංවිධානවලින් කිසිදු ණය මුදලක් මේ වන විට ලැබෙන්නේ නැහැ.
මේ කරුණු සියල්ල මත අප ඉදිරිපත් කරන සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන්නේ ඉදිරි කාලසීමාව තුළ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමෙන් අනතුරුවයි. මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු සියලුම රටවල රාජ්‍යය නායකයන් මුණගැසෙමින් මේ පිළිබඳ ඉල්ලීම් සිදු කර තිබෙනවා.
කෙසේ නමුත් ඉදිරි වසර ගණනාවක් තුළ කවුරුන් රාජ්‍ය නායකත්වයට පත්වුවත්, මැති ඇමති තනතුරු දැරුවත්, නිලතල දැරුවත් ණය ගෙවීම මගහැරීමේ හැකියාවක් නැහැ. සියලු දෙනා එක්ව කටයුතු කර මෙම යථාර්ථයට මුහුණ දීම තුළින් අවශ්‍ය මූල්‍ය කළමනාකරණය සිදු කරගත යුතුයි.
එළැඹෙන වසර වෙනුවෙන් අය වැයෙන් වෙන්වන විමධ්‍යගත අරමුදල් තුළින් සහ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සාර්ථක වීමෙන් අනතුරුව දැනට ඇනහිට තිබෙන විදේශ ආධාර මත ක්‍රියාත්මක වන යෝජනා නැවත ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. එලෙස යෝජනා හයසියකට අධික ප්‍රමාණයක් ඇනහිට පවතිනවා.
ඉතිහාසයේ මීට පෙර සිදු වූයේ හිඟ වූ අවස්ථාවල මුදල් මුද්‍රණය කිරීමයි. නමුත් වත්මන් නීති රීති අනුව කිසිදු ආකාරයකින් එලෙස මහ බැංකුව මඟින් මුදල් මුද්‍රණය කිරීම සිදු වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මේ වන විට පළමු වාරිකය ලබා දී තිබුණත් දෙවන වාරිකය තවමත් ලබා දී නැහැ. එය කඩිනමින් ලැබෙනු ඇති බවට බලවත් විශ්වාසයක් පවතිනවා. අය වැය ප්‍රතිපාදනත්, පළාත් සභා යටතට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදනත්, අමාත්‍යංශ සඳහා වෙන්වන මුදල් සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ඇතිවන තත්ත්වයත් මත මේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනු ඇති.
මේ අවස්ථාවේ අදහස් දැක්වූ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා:
වසර හතළිහකට අධික සිය දේශපාලන ජීවිතය තුළ අය වැයට පෙර අමාත්‍යවරයකු විසින් දුෂ්කර ප්‍රදේශවලට යමින් ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව අදහස් ලබා ගැනීමක් සිදු කරනු දුටු පළමු අවස්ථාව මෙය බවත්, එය ඉතාමත් අගය කළ යුතු ප්‍රායෝගික සහ කාලෝචිත වැඩපිළිවෙළක් බවද අවධාරණය කළේය. අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් සහභාගී කර ගනිමින් ඉදිරි වසරේ සැලසුම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයිනේ සියලු ප්‍රදේශ වෙත යමින්, ජනතාවට පවතින අපහසුතාව අවම කිරීම සඳහා ප්‍රාථමික මට්ටමින් පවා අදහස් ලබා ගැනීම ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ඇගැයීමට ලක් විය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දසේන හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.චන්ද්‍රසේන මහතා,උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා, හිටපු අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. වීරකෝන් මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, දුම්රිය සමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා,අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සුභාෂිණී සේනානායක