Tuesday, May 13, 2025
Home » හෙලිකොප්ටරයක් කන ළඟින් යනවා වගේ ඇහුණා මොනවද වෙන්නේ කියා හිතාගන්න බැරි වුණා

හෙලිකොප්ටරයක් කන ළඟින් යනවා වගේ ඇහුණා මොනවද වෙන්නේ කියා හිතාගන්න බැරි වුණා

-එකම පවුලේ සිව් දෙනකු අතුරුදන් කළ බළන්ගොඩ ගවරන්හේනේ නාය යෑම

by sachintha
November 14, 2023 1:03 am 0 comment

පෙර කළ කම් පල දීමක්ද? නැතිනම් කාලගුණය ඔවුන්ට අකාරුණික වූවාද? යන්න සිතාගත නොහැකිය. කිසිවකු නොසිතූ මොහොතක බළන්ගොඩ ගවරන්හේන වසමේ එකම පවුලක හතර දෙනකු පස් යට සැඟව ගියේ යළි නොඑන්නදැයි තවම ගැටලුවක්ව පවතී. මක් නිසාද යත්: ඒ ඛේදවාචකයට මුහුණ පෑ ඔවුන්ගේ මොන යම් හෝ හෝඩුවාවක් වත් මේ දක්වාම සොයාගැනීමට නොහැකිව ඇති බැවිනි.

පෙරේදා (12) සවස 6.45ට පමණ සිදු වූ මේ නාය යෑමෙන් අතුරුදන්ව ඇත්තේ 47 හැවිරිදි එච්. චමින්ද සුමිත් කුමාර (පියා), සිරියලතා (මව), 15 හැවිරිදි ටෂාරා විමංශා (දුව) සහ 11 හැවිරිදි ඉසුරි ධනංජනා (දුව) යන එකම පවුලේ සිව් දෙනෙකි. ඒ දියණියෝ දෙදෙන ඕපනායක හුණුවල ධර්මරාජ විද්‍යාලයේ 11 සහ 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටියහ. මියගිය චමින්ද පුෂ්ප කුමාරගේ මේ අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත්තේ සිය 47 වැනි උපන් දිනය යෙදී තිබූ දවසේදීම වීම මහත් ඛේදවාචකයකි.

චමින්දගේ නැන්දණිය පවසන පරිදි නාය යන අවස්ථාවේ තම මහ ගෙදර සිට ඇති ඔහු කන්ද ටිකෙන් ටික පහළට එනු දැක තම දියණියන් සහ බිරිය නිවෙසින් ඉවත් කරගැනීමට යද්දී නායයෑමට හසු වී තිබේ. මේ බව දැනගත් වහා අතුරුදන්ව ඇති සිව් දෙනා සොයා යුද හමුදාව, පොලිසිය ඇතුළු සහන සේවා කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත. අවතැන් වූ පවුල් වෙත පිසූ ආහාර සැපයීමට හමුදා නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර, බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ඇතුළු ආපදා සහන නිලධාරීහු සිද්ධිය වූ ස්ථානයට පැමිණ අදාළ කටයුතු සොයා බැලීමට යුහුසුලු වූහ.

නාය යෑමෙන් අනූනවයෙන් ජීවිතය බේරුණු ප්‍රදේශවාසියකු වන එච්. හේරත් මහතා තම අත්දැකීම විස්තර කළේ මේ අයුරිනි:

“මගේ නිවෙස පිහිටා තිබුණේ බඹරගලකන්දේ. මේ හරියේ තේ වතු, පුවක් අරඹවල් සහ උඩින් කැලෑව තිබුණා. සිද්ධිය වූ පෙරේදා (12) දවල් කාලයේ වැස්ස පටන් ගත්තා. ඒත් නාය ගිය අවස්ථාවේ වැස්සේ නැහැ. එදා හවස හය හමාරට විතර මම ගෙදර හිටියේ තනියමයි. ඒ වෙලාවේ එකපාරටම හෙලිකොප්ටරයක් කන ළඟින් යනවා වගේ ශබ්දයක් ඇහුණා. මොනවද වෙන්නේ කියා හිතාගන්න බැරි වුණා. මම එළියට බැහැලා බලද්දි ගස් කොළන් පාවෙනවා වාගේ දැක්කා. මම කෑගැහුවා. පුළුවන් විදියට ටික දුරක් දිවුවා. කකුල් දෙක පස්වලට යට වුණා. ගමේ තුන් දෙනෙක් ඇවිත් මාව බේරාගත්තා. ඔවුන් මාව පහළට අරන් ගියා. මගේ ඔළුව කරකැවෙනවා වාගේ දැනුණා. පසුව මා උඩවෙල නිවෙසට රැගෙන ආවා. අද උදේ උඩවෙල රෝහලට ගොස් ප්‍රතිකාර ගත්තා. කකුල් රිදෙනවා. මම එළියට පැමිණි පසුව ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණා. මම ගෙදර හිටියා නම් මගේ ශරීරයවත් හොයාගන්න බැරි වෙනවා. ගෙදර තිබූ තැනවත් දැන් නැහැ. වාසනාවට මම බේරුණා. පහළ චමින්දලාගේ ගෙදර හතර දෙනාම යට වෙලා. වමින්දගේ උපන් දිනය යෙදිලා තිබු‍ණෙත් එදා. ඔහු හිත හොඳ මනුස්සයෙක්.”

ප්‍රදේශවාසියකු වන කේ. ගුණරත්න මහතා පළ කළේ මෙවන් අදහසකි:

“හවස හය හමාරට විතර මහා ශබ්දයන් ඇසුණා. එළියට ඇවිත් බලද්දි කන්ද පහළට එනවා දැක්කා. චමින්දගෙ ගෙදර පැත්තට කන්ද කඩාගෙන එන නිසා මම කෑගැහුවා ‘චමින්ද අයින් වෙන්න! අයින් වෙන්න!’ කියලා. ඒ ගෙදර දොරවල් වහලා තිබුණේ. මට බය හිතුණු නිසා අපේ ගෙදර අයත් එක්ක එළියට පැන්නා. මගේ ගේ ළඟින්ම නාය ගියා. ගෙදර ඇතුළට ජලය ගලාගෙන ඇවිත් රොන් මඩ පිරිලා තියෙනවා. කිලෝ මීටර් තුන හතරක් කන්ද නාය ගිහින්. අවුරුදු සිය ගානක් පරණ මහ ගස් තිබ්බ තැනක් නැහැ. කන්දෙ තව කොටසක් අවදානම්. දොළපාරක් ගලාගෙන යනවා. ගලුයි පසුයි විතරයි තියෙන්නේ.”

මේ ස්ථානය අවදානම් කලාපයක් බව මීට පෙර දැනුම් දී නැති බව ප්‍රදේශවාසීන් පැවසුවත්, බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ දින දෙකකට පෙර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා පැමිණ නාය යෑමේ අවදානමක් පවතින බව බඹරගලකන්ද අවට පදිංචිකරුවන්ට දන්වා ඇති බවයි. මේ ප්‍රදේශය දෙවැනි මට්ටමේ නාය අවදානම් නිවේදන නිකුත් කර තිබූ ප්‍රදේශයක් බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ රත්නපුර දිස්ත්‍රික් භූ විද්‍යාඥ ඉංජිනේරු අභිත වනසුන්දර මහතාද ප්‍රකාශ කළේය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පැවසුවේ මේ ආපදා තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න, කලවාන, ගොඩකවෙල, නිවිතිගල, ඇඹිලිපිටිය, ඕපනායක, බළන්ගොඩ හා කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 සඳහා විවිධ බලපෑම් ඇති කර ඇති බවයි. නාය යෑම හේතුවෙන් නිවාස එකකට පූර්ණ හානිද, නිවාස දෙකකට අර්ධ හානිද සිදුව ඇති අතර, හානියට පත්ව ඇති නිවාසවල පදිංචි නව දෙනකු ඒ ආසන්නයේ ඇති ආරක්ෂිත ස්ථානවල රඳවා තැබීමට බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ. තවත් අයෙක් රෝහල්ගත කර ඇත.

සිදුවීමෙන් පවුල් 33ක 126 දෙනකු ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ ආයතනය පවසන අතර, ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවදානම් තත්ත්වයක් පැනනැඟී ඇති බැවින් අතුරුදන් අය සොයාගැනීමට ඊයේ (13) පස්වරුව වන තෙක් නොහැකි වූ බවත්, ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් නැති බවත් පොලිසිය කියයි. ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ රත්නපුර දිස්ත්‍රික් භූ විද්‍යාඥ ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පවසන්නේ ඔවුන් පදංචිව සිටි නිවෙස අඩි 30ක් පමණ උසට සම්පූර්ණයෙන් පස්වලින් යටව ඇති බවයි. නාය ගිය ප්‍රදේශය නැරඹීමට ජනතාව කුඩා දරුවන්ද සමඟ විශාල වශයෙන් පැමිණෙමින් සිටින අතර, තවමත් මේ ප්‍රදේශය සක්‍රිය තත්ත්වයේ පවතින බැවින් එලෙස පැමිණීමෙන් වළකින ලෙසද දිස්ත්‍රික් භූ විද්‍යාඥ වනසුන්දර මහතා ඉල්ලා සිටී.

කහවත්ත – නිරෝෂණ පෙරේරා,

බළන්ගොඩ විශේෂ – සම්පත්

ප්‍රියනන්දන, කුරුවිට – කේ.ඒ. සුනිල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT