රටට දිගුකාලීන ස්ථිර ආර්ථික වැඩපිළිවෙළක්
ඇමැති රංජිත් සියඹලාපිටිය
විපක්ෂය සාම්ප්‍රදායිකයි. සාමාන්‍ය පරිදි පවතින රටක මූල්‍ය කළමනාකරණයක් ගැන තමයි විපක්ෂය තවමත් හිතා සිටින්නේ. ඉතාම ගැඹුරු ආගාධයකට අපි වැටිලා සිටියේ. වර්ෂ දෙකක විතර ඍණ ආර්ථිකයක් යන රටක ජනතාව ජීවත් වන්නේ. ජනතාවගේ බලාපොරොත්තු තිබෙනවා, හැමකෙනාම අමාරු කාලයක හිටියේ. අලුත් බදු බරක් පැටවෙන එකක් නෑ කියන හැඟීමක ජනතාව සිටින්නේ. මේ සියල්ලක්ම කළමනාකරණය කිරීමට රජයට සිදු වෙනවා. අපේ ප්‍රාථමික සේවාව ධනාත්මකව පවත්වා ගන්න ඕනෑ. ඒ වගේම අය වැය හිඟය අපට අවශ්‍ය විදියට පාලනය කරන්න බැහැ. එහි සීමාවක් තිබෙනවා. අය වැය හිඟය පියවීමට අපි ගන්න ණය බලපානවා. දේශීය හා විදේශීය විදියට අපි ණය ගන්නවා. විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කරමින් තිබෙනවා. ඒ නිසා විදේශ ණයවලට අපට දැඩි සීමාවන් තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත්වලින් අවශ්‍ය වුණාම මුදල් ලබා ගනිමින් දේශීය ණය අපි ලබා ගන්නවා. එහිදී මුදල් අච්චු ගහනවා. දැන් ඒක කරන්න බැහැ. ජනතාවගේ අවශ්‍යතා කෙටි කාලීනව සපුරමින් දිගු කාලීනව ස්ථාවර මුදල් ආර්ථිකයක් ගොඩනංවා ගැනීම අපේ අපේක්ෂාවයි. වර්ෂ එකහමාරක පමණ සිට අපට තිබෙනුයේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක්. මෙරට ආදායම් රටාවක් තිබෙනවා. එම ආදායමට ගැළපෙන පරිදි අපේ වියදම සකස් කර ගත යුතුයි. දිගුකාලීන ස්ථිරසාර ආර්ථික වැඩපිළිවෙළක් අපේ ළඟ තිබෙන්නේ. ඒ නිසා තමයි රාජ්‍ය සේවාව තවදුරටත් පුළුල් නොකිරීමට අපි පියවර ගන්නේ.
——————-
සමජීවිකතා ප්‍රතිපත්තියෙන් අය වැය සැකසුවොත් ආර්ථිකය ස්ථාවරයි
ඇමැති විජයදාස රාජපක්ෂ
කඩා වැටුණු ආර්ථිකයක් තිබූ රටක් වසරක පමණ කාලයකදී සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා දැරූ උත්සාහයක ප්‍රතිඵලයක් අද රටට ලැබී තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට අය වැය ප්‍රතිපත්තිය දේශපාලන අරමුණුවලින් බැහැරව ස්ථාවර ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අය වැය දිගු කාලීන ස්ථාවර ආර්ථිකයක් සකස් කිරීමක් විදියට අපට දැක ගැනීමට පුළුවන්. සමජීවිකතා ප්‍රතිපත්තිය අනුව රටක අය වැය සකස් කර ගත්තොත් ඒ රටේ ආර්ථිකය ස්ථාවර කර ගත හැකියි. කෙනකු උපයන ආදායමෙන් 1/4ක් පරිභෝජනයට ගැනීමටත්, 2/4ක් ආයෝජනයට යොමු කිරීමටත්, ඉතිරි 1/4 ආපදාවක් වූ විට වියදම් කිරීමට තැන්පත් කිරීමත් කියන ප්‍රතිපත්තියට සමජීවිකතා කියලා කියනවා. එය වසරෙන් දෙකෙන් කළ නොහැකියි. ඒ සඳහා වූ මූලික අඩිතාලම අද දැමුවා. රටට අත්‍යවශ්‍යම අධ්‍යාපනයේ පූර්ණ පරිවර්තනයට මේ අය වැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. පූර්ව ළමා වියේ අධ්‍යාපනයේ සිට ඉහළම අධ්‍යාපනය දක්වා රටේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාව දීමටත් අය වැයෙන් පියවර ගෙන තිබෙනවා.
—————
ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අය වැයක්
ඇමැති ශෙහාන් සේමසිංහ
මෙරට බරපතළ ආර්ථික අර්බුදයක් තිබුණා. අපි එය ස්ථාවර කළා. මෙතැනින් ඉදිරියට යා යුතුයි. ඒ යන වැඩපිළිවෙළ තමයි මේ අද ඉදිරිපත් කළේ. විපක්ෂය කරන චෝදනාවලට විසඳුම් මෙමඟින් ලබා දී තිබෙනවා. කිසියම් ප්‍රතිලාභයක් ජනතාවට මේ අය වැයෙන් ලැබෙනවා.
—————-
මේ අතින් මොනවා හරි දීලා අනෙක් අතින් ගන්නවා
මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්
රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් අප්‍රේල් මාසයේ සිට ලැබෙනවා. ජනවාරි සහ අප්‍රේල් අතර කාලයේ හිඟ දීමනාව ලැබෙන්නේ එන වසරේ ඔක්තෝබර් සිට. විශ්‍රාමිකයන්ටත් එහෙමයි. සියයට 18ක වැට් බද්ද දැනටමත් ගහලා ඉවරයි. මේ අතින් මොනවා හරි දීලා අනෙක් අතින් ගන්නවා. අද සිට විශාල මුදලක් වැට් බද්ද නිසා දරන්න වෙනවා. ප්‍රවාහන, ආහාර, සෞඛ්‍ය වියදම් වැඩි වෙනවා. පවුල් 788,000කට විදුලි බලය විසන්ධි කර තිබෙනවා. ගෙවා ගැනීමට බැරි නිසා ඔවුන්ගේ විදුලි විසන්ධි වීම් වෙලා තිබෙනවා.
——————-
මේක සිල්ලර අය වැයක්
විපක්ෂ නායක සජිත්
අය වැය කතාව බුදු දහම පදනම් කරගෙන පටන් ගත්තා. එය බුදු දහමට කළ නිග්‍රහයක්. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා, පූජාච පූජනීයං ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. පිදිය යුත්තන් පුදන්නේ නැතිව ක්‍රියාවෙන් බාල කොට්ඨාසයකගේ ජනවරමක් ලබාගෙන අයි.එම්.එෆ්. එකත් එක්ක ගැසූ ගිවිසුමේ ආදායම් සම්පූර්ණ කර ගැනීමට නොහැකිව දෙවැනි අයි.එම්.එෆ්. වාරිකයවත් ගන්න බැරි ආණ්ඩුවකට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිල්ලර අය වැයක් ඉදිරිපත් කර රටේ ජනතාව රැවටීමට උත්සාහ කළ ක්‍රියාදාමයක් විදියට මේ අය වැය හඳුන්වන්න පුළුවන්.
—————-
අවශ්‍ය ආදායම හොයාගැනීම ප්‍රශ්නයක්
මන්ත්‍රී වාසුදේව
ලොකු කතන්දර ගොඩක් අය වැයෙන් කියා තිබෙනවා. ඒවා වෙනුවෙන් කරන්න යන වියදම, අවශ්‍ය ආදායම හොයාගන්නේ කොහෙන්ද. මුදල් සොයා ගැනීමට බදු ගන්න ඕනෑ, එහෙම නැත්නම් ණය ගන්න ඕනෑ. සල්ලි අච්චු ගහන්න ඕනෑ. සල්ලි අච්චු ගැසීමත් ණය ගැනීමක්. ණය ගැනීමට තමයි රුපියල් බිලියන තුන්දහස් ගණනක් ණය සීමාවට එකතු කර තිබෙන්නේ. නව ලිබරල්වාදය තහවුරු කරන යෝජනා රැසක් මෙහි තිබෙනවා.
————–
අය වැය යෝජනා ඉටු කළ හැකි වේදැයි ගැටලුවක්
මන්ත්‍රී රවුෆ් හකීම්
අය වැයේ යෝජනා රැසක් ඉදිරිපත් කර තිබුණාට ඒවා කළ හැකි වෙයිද කියා අපට ගැටලුවක් තිබෙනවා. පසුගිය වසරේ ඉදිරිපත් කළ අය වැය යෝජනාවේ සියයට 90ක් කළේ නැහැ. ණය ප්‍රතිව්‍යූහගතකරණය තවම කර නැහැ. ඒවා සිදු නොකර මේ දේවල් ලබාදෙන්න බැහැ. ජනපති සුන්දර කතා කිහිපයක් අද සිදු කළා. ඒවා ඉටු කරන්න පුළුවන් වෙයි කියා අපි හිතන්නේ නැහැ.
——————
රටටම අනාගතයක් උදා කරන අය වැයක්
ඇමැති මනූෂ නානායක්කාර
මොනවත් නොලැබෙන අය වැයක් ඉදිරිපත් කරයි කියා හැමෝම බලා සිටියා. එසේ නැතිව රටටම අනාගතයක් උදාකරන අය වැයක් අද ඉදිරිපත් කළා. දිගුකාලීන රට වෙනස් කරන අය වැයක්. මෙහි ආරම්භය පසුගිය වසරේ අය වැයත් සමඟ සිදු වුණා. සුරංගනා කතා නැති අය වැයක්. රට හදන වැඩපිළිවෙළක් මෙහි තිබෙනවා. මේ වෙලාවේ තිබෙන ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට යම් විසඳුමක් ලබාදී තිබෙනවා. රාජ්‍ය සේවය, විශ්‍රාමිකයන්, ගොවියන්, සහනාධාර ලබන අය, අධ්‍යාපනය ලබන පුද්ගලයන්, වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ගත්තත් කුමන ක්ෂේත්‍රයක අයට වුණත් යම් සහන ප්‍රමාණයක් අය වැයෙන් දී තිබෙනවා. ඉඩම් අයිතිය ගත්තත් හැමදෙනාටම ආමන්ත්‍රණය කළ අය වැයක් මේක. මෙය මැතිවරණ ඉලක්ක කර ගත් අය වැයක් නොවේ.
—————–
සහනදායි අය වැයක්
මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත
යම් සහනදායි අය වැයක් කියා හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක ජීවන වියදම වැඩි කර තිබෙනවා. වැඩිහිටි දීමනාව වැඩි කර තිබෙනවා. කොළඹ මහල් නිවාසවල ජීවත් වන පුද්ගලයන්ට එම නිවාසවල සම්පූර්ණ අයිතිය ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නව විශ්වවිද්‍යාල ඉදි කිරීම වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙවැනි සාධනීය කරුණු ගණනාවක් මෙවර අය වැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ජනතාවට විශේෂයෙන්ම අවශ්‍ය වී තිබෙනුයේ ස්ථාවර ආර්ථික වැඩපිළිවෙළක් සමඟ යම් සහන ලබා ගැනීමක්. ඒ බව මෙවර අය වැයෙන් සිදු කර තිබෙනවා. ජනතාවට සහන දෙන බව පවසමින් ආර්ථිකය මුළුමනින්ම කඩා වැටෙන ආකාරයේ ප්‍රායෝගික නොවන වැඩසටහන්වලට යා නොහැකියි. තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කරන ගමන්ම රාජ්‍ය සේවකයා ඇතුළු ජනතාවට යම් ආකාරයේ සහන ලැබීමක් වෙලා තිබෙනවා. මේ ක්‍රමයේ ස්ථිරසාර වැඩපිළිවෙළක් යටතේ රට ඉදිරියට ගෙන යා හැකියි. රටේ පුරවැසියන් විදියට අපි වෙනස් විදියට කටයුතු කළ යුතුයි. හැමදාම පෙන්වන සීනි බෝල අය වැයක් මෙවර ඉදිරිපත් කළේ නැහැ.
——————–
යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතුයි
මන්ත්‍රී නාමල් රාජපක්ෂ
මෙවර අය වැයෙන් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගිය වර අය වැයෙන් ගෙනා ඒවායි.
බැලූ බැල්මට බොහෝ කාරණා එතුමා ගිය වර අය වැයෙනුත් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නැති බවක් පේනවා. නැවත වතාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. එකම කාරණය දෙපාරක් කියවෙනවා කියලා කියන්නේ එය ප්‍රායෝගිකව බිම් මට්ටමේ ඉටුවෙලාද? නැද්ද? කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. අපි බලන් ඉන්නවා මෙවර අය වැයත් එවැනි දේශනයකට පමණක් සීමා වෙන අය වැය ප්‍රකාශනයක් ද කියන කාරණය. ඉදිරි කාලසීමාවේ මේ ගැන අධ්‍යයනය කර අපි අපේ අදහස් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කරන්නම්. අපි බලමු ජනාධිපති ඒවා පිළිගනීද කියලා. එතුමා ඇවිත් ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා විදියට. එහෙමනම් අපේ ප්‍රතිපත්ති අය වැය යෝජනා තුළ තිබෙන්න ඕනෑ. යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතුයි.
——————–
හොඳ අය වැයක්
නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග
මේ වගේ අය වැයක් කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ. පවතින තත්ත්වයෙන් ඉදිරිපත් කළ හැකි හොඳම අය වැයක් අද ඉදිරිපත් කළා. මීට වඩා විකල්පයක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අද විපක්ෂයටත් ආරාධනා කළා. ඉදිරියේ විවාදයෙන් ඒ බව දැක ගත හැකියි. ආණ්ඩුව ගත් තීන්දු ජනප්‍රිය තීන්දු වුණේ නැහැ. අයි.එම්.එෆ්. එකෙන් මුදල් ලබා ගත හැකි ක්‍රමවේදයක් රටේ ගෙන යෑමට අපිට හැකි වුණා.
———————-
අය වැය ගැන අපි ඉදිරියේදී කතා කරමු
මන්ත්‍රී චරිත හේරත්
ආර්ථිකය කඩා වැටීමේ ප්‍රධාන චුදිතයෙක් විදියට වික්‍රමසිංහ මහතා සිටිනවා. ඒ වෙනුවට රෝසමල් හදන්න ඕනෑ කියන කතාව තමයි මේ එතුමා ක්‍රියාත්මක කරන්නේ. මේ අය වැය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අපි ඉදිරියේදී කතා කරනවා.