Tuesday, May 6, 2025
Home » මෙරට හමු වූ විශාලතම සෙල්ලිපිය පිටපත් කිරීම ඇරඹේ

මෙරට හමු වූ විශාලතම සෙල්ලිපිය පිටපත් කිරීම ඇරඹේ

by sachintha
November 14, 2023 1:00 am 0 comment

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වූ විශාලතම සෙල්ලිපියෙන් ශ්‍රි ලංකාවේ ඉතිහාසය හෝ දිඹුලාගල අලුත් ඉතිහාසයක් මතු වනු ඇති බවට සැකකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා පරීක්ෂක නිලධාරී තනුර දයානන්ද මහතා පවසයි.

මීට මාසයකට පමණ ඉහතදී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලාලේඛන අංශයේ නිලධාරීන් සහ දිඹුලාගල නාමල් පොකුණ පුරාවිද්‍යා නිලධාරීන් සහ පිරිසක් විසින් සොයා ගනු ලැබූ අඩි 50ක් දිග සහ අඩි නමයක් උසැති මෙම සෙල්ලිපිය ඉකුත් 26 වෙනිදා සිට පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් විසින් පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කළහ.

මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර වසර සීයකට පමණ පසුව මෙම සෙල්ලිපිය ස්ථාපිත කර ඇති බවට සැලකෙන බව මේ පිළිබඳ අධ්‍යයනය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර නිලධාරීන් සඳහන් කරයි.

තව දින කීපයකින් පිටපත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන මෙම විශාලතම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව තුන්වන හා පළමුවන සියවසට අයත් බවට සැලකෙන අතර, එය පූර්ව බ්‍රාහ්මී අකුරුවලින් කොටා ඇති බවද තනුර දයානන්ද මහතා සඳහන් කරයි.

අඩි 50ක් දිග සහ උසින් අඩි නවයක් පමණ යුතු මෙම සෙල්ලිපියේ එක් පේළියකට පූර්ව බ්‍රාහ්මී අකුරු දෙසීයක් පමණ අඩංගු වී ඇති බවද දයානන්ද මහතා සඳහන් කරයි.

දැනට සොයා ඇති කරුණු අනුව ඓතිහාසික නාමල් පොකුණ කඳුවැටියට කිලෝමීටර් තුනක් පමණ උසින් පිහිටි පර්වතයකින් හමුවූ මෙම අතිශය දුර්ලභ විශාලතම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ ඉතිහාසය හෝ දිඹුලාගල ඉතිහාසය අලුත් ඉතිහාසයක් බවට පත්වීමට බොහෝ සෙයින් බලපාන සෙල් ලිපියක් වනු ඇති බවද පුරාවිද්‍යා ක්ෂේත්‍ර නිලධාරීන් සඳහන් කරයි.

මෙම සෙල්ලිපිය ඉතා ඉක්මනින් පිටපත්කර දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවකාශය උදා කරන බවත්, එය මතු පරපුරට ආරක්ෂා කිරීමේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් රජයටත් භාර කරන බවත්, ඒ සඳහා ඕනෑම වැඩපිළිවෙළකට තමන්ගේ සහාය ලබාදෙන බවද ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මියගේ මාර්ගෝපදේශකත්වය යටතේ අභිලේඛන හා නානක විද්‍යා අංශයේ සහ බස්නාහිර පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩග්ලස් බණ්ඩාර මහතාගේ සහ අනුරාධපුර, පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්. ජී. රත්නපාල මහතාගේ අධීක්ෂණය යටතේ, තනුර දයානන්ද මහතාගේ ව්‍යාපෘති භාරකාරත්වය යටතේ මෙම සෙල්ලිපියේ ඉදිරි කටයුතු සිදුකෙරේ.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT