Home » පාසල් දරුවන්ට ගොවිතැන කියා දෙමින් ගමේ ඉස්කෝලෙන් අපූරු වප් මඟුලක්

පාසල් දරුවන්ට ගොවිතැන කියා දෙමින් ගමේ ඉස්කෝලෙන් අපූරු වප් මඟුලක්

by sachintha
November 14, 2023 1:00 am 0 comment

වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරස්ථානය තුළ ක්‍රියාත්මක ගමේ ඉස්කෝලේ මූලිකත්වයෙන් දරු දැරියන්ට වී ගොවිතැන පිළිබඳ අවබෝධයක් ලබා දෙමින් ගොවිතැනට හුරු කරන ප්‍රායෝගික වැඩසටහනක් Òහෙළ කෙතෙහි උරුමයෙහි අඬහැරයÓ නමින් පසුගියදා පැවැත්වුණි.

වරකාගොඩ ගල්ලෙන් විහාරස්ථානයේ විහාරාධිපති, නැඟෙනහිර පස්යොදුන් කෝරලේ උප ප්‍රධාන සංඝනායක පෝරුවදණ්ඩේ සුමන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ගමේ ඉස්කෝලේ නිර්මාතෘ ගේෂන් සජිත් මහත්මාගේ මූලික සංවිධාන ශක්තියෙන් ප්‍රදේශයේ වැඩිහිටියන් සහ දෙමවුපියන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන සිදුකර තිබුණි.

මෙහිදී බලප්‍රදේශයේ උඩුබුරුළුගැටියේ වෙල්යායේ කාලයක් පුරාම තිබූ කුඹුරු කිහිපයක් මෙම දරු දැරියන් විසින් අස්වද්දන්නට කටයුතු කර තිබුණි. එම කුඹුරු දැන් හඳුන්වන්නේ දරුවන් අස්වද්දන ගමේ කුඹුර යනුවෙනි.

පසුගිය ඉරිදා හිමිදිරියේ හේවිසි හඬ මැද්දේ මහා සංඝරත්නය පෙරටු කරගෙන මෙම වෙල්යායට ගමේ වැඩිහිටියන් මෙන්ම ගමේ පාසලේ දරුවන් පුංචි ගොවියන් සහ ගෙවිලියන් ලෙස හැඳ පැලඳ ගනිමින් එකතු වූහ.

ප්‍රථමයෙන් කුඹුර අසලට වැඩම කළ ස්වාමීන් වහන්සේලාට උදෑසන හීල් දානය පිළිගැන්වීමට ගමේ ඉස්කෝලේ පුංචි ගොවියන් කටයුතු කළහ.

ඉන් අනතුරුව පහන් පැල දල්වා, ත්‍රිවිධරත්නයේ හා දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත් මෙම පුංචි ගොවියන් උදලු අරගෙන කලක් පුරන්ව තිබූ කුඹුරු කොටන ලදි.

ඒ අතරතුර කුඹුර අසලම ඉදිකර තිබූ ගැමි වේදිකාව තුළ ගමේ ඉස්කෝලේ දරුවන් කෙත කමත හා බැඳුණු සාම්ප්‍රදායික නර්තන මෙන්ම ජනගායනා ද ඉදිරිපත් කළහ.

අනතුරුව ටික වේලාවක් ගිය පසු කුඹුරු කොටන පුංචි ගොවියන්ගේ මහන්සිය හා කුසගින්න නිවාගැනීමට ගමේ ඉස්කෝලේ පුංචි ගෙවිලියන් ටික බොහොම අපූරුවට බටපොතු පෙට්ටිවල දැමූ ඇඹුල රැගෙන කුඹුරට පැමිණි අයුරු කාගෙත් සිත්ගත් දර්ශනයක් විය.

මෙහිදී විශේෂ අනුශාසනාවක් කරමින් නැඟෙනහිර පස්යොදුන් කෝරලයේ උප ප්‍රධාන සංඝනායක, වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරාධිපති, පෝරුවදණ්ඩේ සුමන හිමියන් පවසා සිටියේ

Òඅපේ ප්‍රධාන ආහාරය බත් බවත් මේ බත හැදෙන තැන කුඹුර බවත්, පුංචි කාලයේ සිටම දරුවන්ට කුඹුර පිළිබඳ යහපත් ආකල්ප ඇති කළ යුතු බවත්ය.Ó කුඹුර කියන්නේ කුමක්ද? පුරන් කෙටීම, දෙමේ කෙටීම, කැටගැසීම, වැපිරීම සහ ගොවි උපකරණ පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබාදීමත් මෙහිදී සිදු කෙරෙන බවත් මෙම අපූරු වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් ගමේ සියලුම වැඩිහිටියන්ට සහ පරිත්‍යාගශීලීන්ට බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් මෙවන් වැඩසටහන් රටේ හැමතැනම ක්‍රියාත්මක වේ නම් අනාගතයේ නැවතත් අපේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කළ හැකි යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

අඟුරුවාතොට සමූහ – මංගල ප්‍රසන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT