Tuesday, May 6, 2025
Home » ගලි උතුරා පිටාර යෑමෙන් වැලිමඩ බස් නැවතුම අපායක්

ගලි උතුරා පිටාර යෑමෙන් වැලිමඩ බස් නැවතුම අපායක්

by sachintha
November 14, 2023 1:00 am 0 comment

ගලා යන අපද්‍රව්‍ය උමාඔයට එක් වීමෙන් පරිසරයටත් හානි

අපද්‍රව්‍ය පොම්ප කරන මෝටරයේ දෝෂයක්

ඉක්මනින්ම විසඳුම් දෙනවා වැලිමඩ ප්‍රාදේශීය සභා ලේකම්

වැලිමඩ නගරයේ ඔරලෝසු කණුව අසල පිහිටි බස් නැවතුම පිහිටි ස්ථානයේ ඇති වැසිකිළි අපද්‍රව්‍ය එකතු වන ටැංකි කිහිපයක් උතුරා අපද්‍රව්‍ය පිටතට ගලා ඒම හේතුවෙන් දෛනිකව බස් නැවතුමට පැමිණෙන ජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ.

නගරයේ පිහිටි වෙළෙඳ සැල්වල හා පොදු වැසිකිළිවල අපද්‍රව්‍ය සියල්ල මෙම ඔරලෝසු කණුව අසල පිහිටි ටැංකිවලට එකතු කර ඒවා නැවත වැලිමඩ බණ්ඩාරවෙල මංසන්ධිය ආසන්නයේ පිහිටි ටැංකිවලට ගෙන යෑම වැලිමඩ ප්‍රාදේශීය සභාව මඟින් සිදු කරනු ලබයි. දින කිහිපයක සිට මෙලෙස ඔරලෝසු කණුව අසල පිහිටි වැසිකිළි අපද්‍රව්‍ය එකතු කරන ටැංකි උතුරා බස් නැවතුම හරහා ගලා යෑම හේතුවෙන් දුර්ගන්ධය හමන බවටත්, මේ හේතුවෙන් බස් නැවතුමට පැමිණෙන මගී ජනතාව මෙන්ම රියැදුරන් ද දැඩි පීඩාවට පත්ව ඇති බවටත් ජනතාව මැසිවිලි නඟති. මෙම අපද්‍රව්‍ය බස් නැවතුම හරහා ගලාගෙන ගොස් උමාඔයට ද එකතු වීමෙන් දැඩි පාරිසරික හානියක් සිදු වන බව ද ජනතාව පෙන්වා දෙති. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මෙම තත්ත්වයට තමන් කාලයෙන් කාලයට මුහුණ දෙන බවයි.

මේ පිළිබඳව අප වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩී. එම්. පී. එස්. බණ්ඩාර මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වැලිමඩ නගරයේ වෙළෙඳසැල්වලින් එකතු වන වැසිකිළි අපද්‍රව්‍ය මෙම ඔරලෝසු කණුව අසල ටැංකිවලට එකතු කර මෝටරයක් ආධාරයෙන් වැලිමඩ බණ්ඩාරවෙල මංසන්ධියේ පිහිටි ටැංකිවලට පොම්ප කිරීම සාමාන්‍යයෙන් සිදු කරන බවයි. ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් මෙම පොම්ප කිරීමේ කටයුතු රාත්‍රී කාලයේදී සිදු කරන බවද ඒ මහතා පැවසීය. කෙසේ වෙතත් දැනට දින තුනක පමණ සිට වැසිකිළි අපද්‍රව්‍ය පොම්ප කිරීමට යොදා ගන්නා මෝටරයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම අපද්‍රව්‍ය පොම්ප කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව කී ඒ මහතා, මේ වන විට එම මෝටරය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් ඉදිරි දින කිහිපයේදී මෙම ගැටලුවට විසඳුමක් ලැබෙන බව සඳහන් කළේය.

වැලිමඩ සමූහ – ආර්. රාජමන්ත්‍රී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT