බාලිකා තරගය ජයගත් රංගධාරී කුමාරසිංහ (මැද) සමඟ චමිලා සිරිවර්ධන සහ පබෝධා ඉමාෂනි ආරාධිතයන් සමඟ. ඡායාරූපය – දකුණු පළාත් සංචාරක
අධ්‍යාපන අමාත්‍යාංශය සහ නෙස්ලේ ලංකා සමාගමේ නෙස්ටොමෝල්ට් එක්ව සංවිධාන කළ සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් ධාවන තරගයේ බාලිකා ඉසව්ව ජය ගැනීමට වැලිමඩ ශ්‍රී දේවානන්ද මධ්‍ය මහා විදුහලේ ඩබ්ලිව්.ඩී.ඩී. රංගධාරී කුමාරසිංහ සමත් වූවාය.
ගාල්ලේදී පැවති මේ තරගය කිලෝමීටර් 21ක දුරකින් සමන්විත වූ අතර, එහි දෙවැනි ස්ථානය මොනරාගල සේනාපති මහ විදුහලේ ඩී.එම්. චමිලා සිරිවර්ධන දිනාගත් අතර, වැලිමඩ මධ්‍ය මහ විදුහලේ එල්.පී.ජී. පබෝධා ඉමාෂනී තෙවැනි ස්ථානයට පත් වූවාය.
මේ තරගය ගාල්ලේ සිට මාතර ප්‍රධාන මාර්ගයේ තල්පේ බස් නැවතුම දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණය අසලින් නිමා විය.
ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීම දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග, නෙස්ලේ ලංකා සමාගමේ සභාපති බර්නාඩ් ස්ටෙෆාන්, උප සභාපති බන්දුල එගොඩගේ, අධ්‍යක්ෂ රුවන් වැලිකල, අධ්‍යක්ෂ ජගත් වෙදගේ, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා, දකුණු පළාත් නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.එම්. ක්‍රිෂාන් දුමින්ද, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ