ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පසු බැසීම පිළිබඳ රූපවාහිනියෙන් උපදෙස් දීම ඉතා පහසු බවත්, යමකුට උපදෙස් දීමට අවශ්‍ය නම් තමන් වෙත කෙළින්ම ඇමතුමක් දෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් නායක බබර් අසාම් පවසයි.
එලෙස කෙළින් කතා නොකර රූපවාහිනියෙන් විවේචනය කරමින් කාලය නාස්ති කරන අය තම දුරකතන අංකය දන්නා බැවින් ඝෘජු ඇමැතුමක් ලබා දෙන්නේ නම් යහපත් බව හෙතෙම පැවැසීය. පාකිස්තාන නායක බාබර් අසාම් විවේචකයන්ට දැඩි ලෙස බැණ වැදුණු අතර, ‘රූපවාහිනියේ ඉදිරිපිට හිඳගෙන උපදෙස් දෙන්න හැමෝටම ලේසියි‘ යනුවෙන් පැවසීය.
පාකිස්තාන හිටපු ක්‍රීඩක මොයින් ඛාන් සහ ෂොයිබ් මලික් ඇතුළු හිටපු නායකයන් බාබර් අසාම්ගේ නායකත්වය විවෘතව විවේචනය කළ අතර, නායකත්වයේ පීඩනය බාබර් අසාම්ගේ පිතිකරණයට බලපා ඇතැයි හිටපු නායකයෝ විශ්වාස කරති.
ෂොයිබ් මලික් පැවසුවේ, ‘බබර් පිතිකරුවකු ලෙස විශිෂ්ටයි, නමුත් නායකයකු ලෙස අසාර්ථකයි‘ යනුවෙනි. ඉන්දීය පිතිකරු විරාත් කෝලිගෙන් බබර් ඉගෙන ගත යුතුව ඇතැයි මොයින් ඛාන් පැවැසීය.
“වර්ල්ඩ් කප් එකේදි මම දක්‍ෂතා පෙන්නුවේ නැති නිසා තමයි කියන්නේ මට පීඩනයක් තිබුණා කියලා. මම කිසිම පීඩනයකට ලක් වුණේ නැහැ. මම හැමවිටම උත්සාහ කළේ මගේ උපරිමය ලබා දෙන්න. පන්දුවට පහර දෙන අතරේ මම හිතන්නේ කොහොමද ලකුණු රැස් කරලා කණ්ඩායම දිනවන්නේ කියලා. නායකත්වය සම්බන්ධයෙන් පකිස්තානයට ගිය පසු සිදු වන්නේ කුමක්දැයි අපි බලමු“ බාබර් පැවසීය.
ප්‍රින්ස් ගුණසේකර