Home » වහල්බව භූමිදානය කර ඉපැදිණි භූදාන්

වහල්බව භූමිදානය කර ඉපැදිණි භූදාන්

by sachintha
November 16, 2023 1:00 am 0 comment

ඉන්දියාවේ තෙලන්ගානා සහ හයිද්‍රාබාද් ප්‍රදේශවල ඉඩම් අහිමි ජනතාව තමනට කියා බිම් අඟලක් ලබා ගැනීම සඳහා පාරට බැස්සේය. සුද්දා ඉන්දියාව අතහැර ගොස් සිටියද තමන්ට උරුමකමක් අහිමි උපන් බිම වනාහි පාලනය කරන ඒකාගේ කළු – සුදු භේදය මත රඳා නොපවතින්නක් බව ජනතාවෝ තේරුම් ගත්හ. දේශීය රදල පිළිරුවකට

වැඳ නමස්කාර කිරීම සහ ජෝර්ජ් රජතුමාට පහත් වීම යන්න, කළු – සුදු හෙවත් විදේශීය – දේශීය වෙනසට එහා ගිය කතාවක් බව, පාරේ ඉන්නා මිනිසාට තේරුම් යන්නට විය. 1953 වසර කියන්නේ ඉන්දියාව නිදහස ලබා වසර දහයක්වත් නොගිය කාලයකි. නිදහසේ උල්පත වනාහි හිට ගෙන සිටීමට හෝ ප්‍රමාණවත් ඉඩමක් තමන්ගේ අයිතියට සින්නක් කර තිබීම බව ජනයාගේ වැටහීම විය. තෙලන්ගානාවේ සහ හයිද්‍රාබාදයේ ජනතාව ඉඩම් අයිතිය ඉල්ලා ප්‍රචණ්ඩ වූහ. වැඩ සටහන සඳහා නායකත්වය ලබා දුන්නේ උග්‍ර ගාන්ධි අනුගාමිකයෙක් වූ විනෝබා භාවේය. රට පුරා සිටි ඉඩම් හිමියන්ගෙන් ඉල්ලීමක් කරමින් ඉඩම් විරහිත ජනතාව සඳහා ඉඩම් දන්දීමේ ව්‍යාපාරයක් ආරම්භ වූයේය. භූදාන් ව්‍යාපාරය දිරි ගන්වමින් ඉන්දියානු ඉඩම් හිමියෝ සිය කැමැත්තෙන් ඉඩම් පරිත්‍යාග කිරීමට පෙරට පැමිණියහ. වසර 4ක් ඇතුළත ඉඩම් අක්කර ලක්ෂ හතළිහක් දිළිඳු ජනයා වෙනුවෙන් පරිත්‍යාග කළහ. ඉඩම් හිඟය තුනී විය. සුද්දාට හෝ දේශීය රදලයාට වැඳ වැටීමට සඳහා පසුබිම ඇති කරනුයේ ඉඩම් ඇති නැති බවය. එහෙම ඉඩම් හිමියෝ පූජාසනයෙන් බිමට බැස්සු විනෝබා භාවේ, ජනතාව අතර ‘සාධුවරයෙක් සේ වන්දනාවට පාත්‍ර විය.

රජය සතු ඉඩම් පිළිබඳ අයිතිය වෙනස් කිරීමේ මුල් පියවර තබන ලද්දේ 1933 වසරේදී, කෘෂිකර්ම ඇමැති ඩී. එස්. සේනානායකය. රජයේ ඉඩම් අයිතිය ජනතා සන්තක බවට පුළුල් කරමින් 1934 මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය හේ ආරම්භ කළේය. ජනතාවට ගොඩින් සහ මඩින් ඉඩම් බෙදාදීම ආරම්භ විය. ඒ ආණ්ඩුවේ ඉඩම් කොමසාරිස්වරයා වූයේ සී.එල්. වික්‍රමසිංහය. ඩී.එස්. සහ සී.එල්. සුසංයෝගය ආණ්ඩුවේ ඉඩම් අතදිගහැර බෙදා දෙන ආකාරය ගැන ඉංග්‍රීසි ආණ්ඩුව සතුටු වූයේ නැත.

ගැමියාට ඉඩම් අයිතිය බෙදා දෙන අතරේ රට නම් සමස්ත ඉඩම ද හිමිකරුවා වෙත බෙදාදීම මේ ‘කෂ්ටියේ’ වුවමනාව විය. 1944 වසරේ මුල්භාගයේ නිල රථයෙන් සිය ලිපිකරුද සමඟ ‘ලක්මහල්’ වෙත ඩී. එස්. පැමිණියේය. ලක්මහල් වනාහි අද ද සිය උරුමය සමඟ නැඟී සිටිනා ප්‍රෞඪ දේශපාලන දෙපළකි. කොල්ලුපිටිය ඇල්බට් චන්ද්‍රවංකයේ ලක්මහල්හි සිටියේ සී. එල්. වික්‍රමසිංහය. රජරට ගොවි ජනපද පිහිටුවීම සඳහා මුල්වී ක්‍රියා කළ සී. එල්. නිදහස් ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තිය මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමය කෙසේ සකස්විය යුතුද යන්න පිළිබඳව ඩී. එස්. ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කළ විශාලම පුද්ගලීකරණය මේ අය වැයෙන් සිදු කළේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා මාධ්‍ය ප්‍රධානීන් අමතා කියා සිටියේය. ඒ හඬ අවදි කළේ සී. එල්. ගේ ජාන බව මේ තීරුවේ අදහසය. සිංහලයෙක් පළමුවරට මහ දිසාපති අසුන ලබන්නේ සබරගමුවටය. ඒ, සී.එල් ය. සී. එල්. ට දරුවෝ පස් දෙනෙකි. එස්මන්ඩ්, තිස්ස, ලක්ෂ්මන්, මුක්තා යන ඒ පරපුරේ, එස්මන්ඩ්ගේ පුතා යළි ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්නේ යැයි අය වැයක් ඉදිරිපත් කිරීම වනාහි ‘ජාන ඝනකම’ එළිපත්තට පැමිණීමක් විය.

සබරගමුවේ මහ දිසාපති සී. එල්. ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ජනතාවාදී ප්‍රවේශයක් මතු කළා සේ සබරගමුවෙන් අගමැති පුටුවට ආ සිරිමාවෝ රත්වත්තේ ද රදල ඉඩම් අයිතියට පහර දුන්නාය. 1972 වසරේදී ඕ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පිහිටුවන්නී, සිය ඉඩම් ද රජයට පැවරෙනු බල බලාය. අක්කර 50ට වැඩි පුද්ගලික ඉඩම් රජයට අත්පත් කර ගෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ස්ථාපනය කර, චන්ද්‍රිකා දියණිය එහි සභාපතිනිය බවට ඇය විසින් පත් කරන ලදී.

ඒ ඉඩම් අයිතිය ජනතාවට දැනෙන ලෙස පහු කාලයේදී වෙනස් වූයේම නැත. ඡන්ද කිට්ටු වෙනකොට බෙදෙන ඔප්පු කොළ ලිස්ට් එකක් ඇත්තේය. පෝරමය පුරවා භාර දුන් පසු

“ අපි දින්නොත් ඉඩම ෂුවර්’යන ඔප්පුව ලැබේ. බඩු වැඩ කරන්නේය. අපේක්ෂකයා දිනන්නේය. පෝරමය භාරගත් බවට වන රිසිට් එක සමඟ ජනී ජනයා ඊළඟ ඡන්දය කිට්ටුව වෙනකං බලා සිටින්නේ ආයෙත් පෝරම කොළයක් ලැබෙන තුරුය.

අය වැය වූ කලී පනතකි. එහි යෝජනා සඳහා නෛතික බලයක් ඇත්තේය. එහෙව් බලයක් මෙවර අය වැයෙන් ‘ඉඩම් අයිතිය’ සඳහා ජනයාට ලබා දුන්නේය. ඉඩම් නඩු වගේ ජනතාවගේ ඉඩම් අයිතිය ද ‘ඇදෙන සීන් එකක’ ඇති බැවින් මෙහෙම අය වැයකින්ම වැඩේ ගොඩ දැමීම ගැන අපි ‘කූල්ය’. දැනට ඇති ඉඩම් සඳහා ඇති ප්‍රශ්න නිරාකරණය කරන බිම්සවිය සඳහා ද අය වැයෙන් සවියක් දී තිබේ. 1998 වර්ෂයේ ආරම්භ කරන ලද බිම්සවිය වැඩසටහන යටතේ මිලියන 12ක් පමණ වූ ඉඩම් කට්ටි අතරින් ‘කට්ටි මිලියනයක්’ ආවරණය කර හමාරය. රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර බිම්සවියට ‘ඉදිරිය බලා යනු’ යැයි කීම ‘මට මගේ නොවන මගේම ඉඩමක් තිබේ’ යන ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය සඳහා නිමාවකි.

බිම් අඟල යනු සටන් පාඨයක් මිස මැන බලා දෙන දෙයක් නොවේ. දැන් අඟලේ කතා හමාරය. අයිතිය ලැබෙනවා ඇත. එතැන් පටන් ‘ඉදිරිය බලා යනු’

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT