Tuesday, May 13, 2025
Home » සමථ මණ්ඩලවලට මේ වසරේ පමණක් ලක්ෂයකට වැඩි පැමිණිලි

සමථ මණ්ඩලවලට මේ වසරේ පමණක් ලක්ෂයකට වැඩි පැමිණිලි

අධිකරණ අමාත්‍යාංශ විශේෂ සාකච්ඡාවකදී හෙළි වෙයි

by mahesh
November 17, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

මේ වසරේ ඔක්තෝම්බර් මස 31 වැනි දින වන විට පැමිණිලි එක් ලක්ෂ හතළිස් එක් දහස් දෙසිය පනස් අටක් සමථ මූල මණ්ඩලවලට යොමු වී තිබේ. ඉන් පැමිණිලි අසු හය දහස් හයසිය විසි හතරක් බැංකු සහ මූල්‍ය ආයතනවලින් යොමුව තිබෙන අතර ආරවුල් සම්බන්ධ පැමිණිලි තිස් එක් දහස් දෙසිය අනූ අටක් පොලිසිය වෙතින් ලැබී ඇත. අධිකරණය වෙතින් පැමිණිලි පහළොස් දහස් හාරසිය හැට නවයක් සහ පෞද්ගලිකව පැමිණිලි හය දහස් අටසිය හැත්තෑ පහක් යොමුව තිබෙන අතර මේ වසරේ ඔක්තෝම්බර් 31 දක්වා ලැබී ඇති පැමිණිලිවලින් 63218ක් සාකච්ඡා කර තිබේ. ඉන් 43819ක් සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කර ඇත. සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය භාරය ගැන පැහැදිලි කිරීමට ඊයේ (16) අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

වසර 33ක කාලයක සිට මේ රටේ සමථ මණ්ඩල ක්‍රමය ක්‍රියාත්මක වන අතර, රුපියල් මිලියනයක සීමාව දක්වා මූල්‍ය ආරවුල් මූල්‍ය සමථ මණ්ඩල සඳහා යොමු කිරීම අනිවාර්ය වේ. රුපියල් මිලියන දෙකක් දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි ඉඩම් ගැන වූ විශේෂ සමථ මණ්ඩල සඳහා යොමු කළ යුතුවේ. සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති සමථ මූල මණ්ඩලවල සමථ මූල මණ්ඩල සාමාජිකයන් 8500ක් ස්වේච්ඡාවෙන් කටයුතු කරයි. ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 16ක ඉඩම් සමථ මූල මණ්ඩල පිහිටුවා ඇති අතර, මූල්‍ය ආරවුල් සම්බන්ධ විශේෂ සමථ මණ්ඩල දිස්ත්‍රික්ක 06ක ස්ථාපිත කිරීම ආරම්භ කර තිබේ. සමථ මණ්ඩල සඳහා වාර්ෂිකව යොමු වන ආරවුල් ප්‍රමාණයෙන් 70%ක් සඳහා විසඳුම් ලබාදීම සිදු කෙරේ.

පෞද්ගලිකව සමථ මණ්ඩල සඳහා පැමිණිලි යොමු කළ හැකි වුවත් එසේ පැමිණිලි යොමු වන්නේ ඉතා අඩුවෙන් බවත් තමන්ට පවතින ආරවුලක් සම්බන්ධ පැමිණිලි සමථ නිලධාරී මාර්ගයෙන් හෝ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඇති පැමිණිලි පෙට්ටියට යොමු කිරීමෙන් ලබා දිය හැකි බවත් මේ සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. සාමාන්‍ය ජනතාවට සමථ මණ්ඩලවලින් ලබා ගත හැකි සේවාව පිළිබඳව බොහෝ දෙනාට නිසි අවබෝධයක් නැති බවද මෙහිදී අනාවරණය විය.

අඩු වියදමකින් තමන්ට පවතින ගැටලුවට විසඳුම් ලබා ගැනීමේ හැකියාව සමථ මණ්ඩලවලින් පවතින බවත් විශේෂයෙන් පාසල් ළමයින්ට සමථ මණ්ඩල ක්‍රමය ගැන අවබෝධය ලබාදීම සඳහා පාසල් සමථකරණ ඒකක පිහිටුවීමට කටයුතු කර ඇති බව ද මේ සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ පැවති මේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සමථ මණ්ඩල කොමිෂන් සභාවේ වැඩ බලන ලේකම් ඒ.එස්.පී. වීරසුරිය, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ පුහුණු නිලධාරී නීතිඥ චින්තක හේරත් සහ සමථ පුහුණු නිලධාරීනි නීතිඥ නිලූෂා පත්ම කුමාරී මහත්ම මහත්මීන් විසින් මේ අදහස් පළ කෙරිණි.

අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ මේ විශේෂ මාධ්‍ය හමුව පැවැත්විණි. සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සහකාර ලේකම් තක්ෂිලා නයන්ති සිල්වා මහත්මිය ද මේ අවස්ථාවට එක්වූවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT