Home » අපවත් වී වදාළ උඩුවේ හේමාලෝක මාහිමියෝ

අපවත් වී වදාළ උඩුවේ හේමාලෝක මාහිමියෝ

by mahesh
November 17, 2023 1:00 am 0 comment

තම පැවිදි දිවිය සීලයෙන් ද ගුණයෙන් ද මනා ලෙස ඔපවත් කරගත් අපවත් වී වදාළ තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානය ඔලබොඩුව රජමහා විහාරය යන උභය මහා විහාරාධිපති උඩුවේ හේමාලෝක නාහිමිපාණෝ ලක් සසුනටම මහත් ආලෝකයක් වූ මිණි පහනකි. හොරණ පුරවරයේ මනාවූ ග්‍රාමීය සුන්දරත්වයකින් පරිපූර්ණ වූ උඩුව නම් ගම්වරයේ දී උඩුවේ නෝමිස් වනිගතුංග උපාසක මහතාට දාව දැඩිගමුවගේ බබුන් නෝනා උපාසිකා මාතාවට 1950 වර්ෂයේදී මේ සුපින්වත් කුල කුමරුවන් ජන්ම ලාභය ලැබීය. අනතුරුව එකොළොස්වන විය පිරෙත්ම එවකට තලගල මංගලාරාමාධිපතිව වැඩ විසූ වීදියගොඩ පේමරතන නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1961 වර්ෂයේදී උතුම් වූ පැවිදි බිමට පත්වූහ. පසුව හොරණ ප්‍රදේශයේ සුප්‍රකට විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයෙන් මූලික අධ්‍යාපනය නිමවා උසස් අධ්‍යාපනය සඳහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය සමත් වන උන්වහන්සේ 1970 වර්ෂයේ දී මහනුවර ඓතිහාසික රාජපූජිත මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූහ. පසුව ශ්‍රී ලංකා රජයේ ගුරු සේවයට ඇතුළත් වන අප ගුරුදේවෝත්මයාණන් වහන්සේ හම්බන්තොට කිරම විදුහලෙන් සිය වෘත්තීය ජීවිතය අරඹා පසුව ඔලබොඩුව ශ්‍රී සුමංගල විදුහලෙන් විශ්‍රාම ලබන තෙක්ම පාසල් ගණනාවක සිසු දරුවන්ගේ නැණස පෑදීමට අප්‍රමාණ මෙහෙවරක නිරතවෙති. එතැනින් නොනැවතී විහාරස්ථ ශ්‍රී සුමංගල දහම් පාසල ඔස්සේ තමන් වහන්සේගේ අධ්‍යාපන මෙහෙවර තවදුරටත් දීර්ඝ ලෙස කරගෙන යති. විශාල ශිෂ්‍ය පිරිසක් බිහි කරන අප ලොකු හාමුදුරුවන් වහන්සේ අතින් පැවිදි භූමියට පත් ශිෂ්‍ය පිරිස 50කට ආසන්නය. ඒ අතරින් වර්තමාන ඔලබොඩුව රජ මහා භාරකාර ඉතාලිය මිලානෝ නුවර ලංකාරාමාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වීය බස්නාහිර පළාත් සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි කොළඹ කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඔලබොඩුවේ ශ්‍රී ධම්මික නායක නාහිමියන් වැනි අග්‍රගණ්‍ය පැවිදි පඬිවරුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ සම්බුදු සසුන ආලෝකවත් කරයි. බුදුන් වහන්සේගේ දේශනාව පරිදිම අප ලොකු හාමුදුරුවන් වහන්සේ සැබැවින්ම ව්‍යක්තය. විනීතය. විශාරදය. ධර්මධරය. විනයධරය. ධම්මානුධම්ම පටිපන්නය. සියම් නිකායේ මුල්ම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපතීත්වයට පත්ව සිටි උන් වහන්සේ අප්‍රමාණ වූ සැදැහැවතුන් පිරිසකට විශාල අධ්‍යාත්මික නායකත්වයක් දුන්හ. ප්‍රතිපත්ති ශාසන පූජාවෙන් උන්වහන්සේ අප්‍රමාණ අධ්‍යාත්මික දියුණුවක් ලබා සිටියහ. අප ලොකු හාමුදුරුවන් වහන්සේ 2023 නොවැම්බර් මස 15 වැනි දින උන්වහන්සේගේ අවසන් සැනසුම් සුසුම වාතලයට මුසු කළහ. අප පින්වත් ලොකු හාමුදුරුවන් වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා!

ඔලබොඩුව රජමහා විහාරවාසී 
ඔලබොඩුවේ සෝභිත හිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT