සමරරත්න සර් ගැන පොතක් ලියන්න පුළුවන් ඒ තරම් හොඳ මනුස්සයෙක්
– කිරිබත්ගොඩ විහාර මහාදේවී බාලිකාවේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනි
මරණයේ වේදනාව මියයන්නාට නොව ජීවත්වන්නාටය. ඒ බව යළි යළිත් තහවුරු කරමින් තම පාසලේ දරුවන්ගේ අනාගතය තම දෙවුර මතට ගනිමින් දරුවන් වෙනුවෙන් දිවා රෑ කැප වුණු නිහතමානී විදුහල්පතිවරයකු අනපේක්ෂිත මොහොතක සිදු වූ මාරක රිය අනතුරකින් මරණයට පත්වූ පුවත කැලණි අධ්‍යාපන කලාපය සසල කිරීමට ගත වුණේ ඇසිල්ලකි.
තම සහෝදර ආචාර්ය මණ්ඩලයේ පමණක් නොව කැලණි කලාපයේම විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩලය සහ සිසුදරුවන්ගේ මෙන්ම ඔහු පදිංචිව සිටි එඬේරමුල්ල ප්‍රදේශයේ ජනතාවගේද නොමඳ ආදරයට ගෞරවයට පාත්‍ර වූ සමරරත්න මහතාගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් සහෝදර ගුරුවරුන්ගෙන් නිවෙස පිරී ගියහ.
සැබෑම මානව හිතවාදියකු ලෙස කා අතරත් ජනප්‍රිය චරිතයක්ව සිටි ඒ මහතා සතුව තිබූ උතුම් මානව හිතවාදී ගුණාංග ගැන කවුරුත් කතාකළේ නෙතග කඳුළු පුරෝගෙනය. අවසන් ගෞරව දැක්වීමට පැමිණි සමකාලීන විදුහල්පතිවරුන් පැවසුවේ මෙලොව මිනිසකුට පිහිටිය නොහැකි අන්දමේ ගතිගුණ එතුමාට පිහිටා තිබුණේ මෙලෙස ඉක්මන් ගමන්යෑමට සූදානමක් ලෙස විය හැකි බවයි.
කැලණිය හුනුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති එච්.ඩබ්.පී. සමරරත්න මහතා 16 වැනිදා වත්තල පුරහලේදී පැවැත්වීමට සංවිධාන කර තිබූ හුනුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුදරුවන්ගේ කලා කුසලතා එළිදැක්වීමේ නූපුරනාද කලා උලෙළට අවශ්‍ය භාණ්ඩ කීපයක් මිලදී ගැනීමට බිරිය සමඟ පසුගිය 14 දා තම යතුරුපැදියෙන් කොළඹ බලා ගමන් කරමින් සිටියදී මේ මාරාන්තික අනතුරට මුහුණ පා ජීවිතයෙන් සමු ගෙන තිබිණි.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදු වූ මේ අනතුරින් විදුහල්පතිවරයා මෙලොවින් සමු ගත් අතර, ඒ මහතාගේ බිරිය වූ ගුරු සේවයෙන් විශ්‍රාම ලබා සිටින නිලානී චන්ද්‍රිකා මහත්මිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සැත්කමකටද ලක් කර තිබිණි.
ලබන වසරේ උසස්පෙළ විභාගයට සූදානම් වන සමරරත්න මහතාගේ එකම දියණිය ප්‍රමෝදි සහන්යා වෙනදාට තමන්ට සෙවණැල්ල වෙමින් පාසලට සහ උපකාරක පන්තිවලට කැඳවාගෙන යමින් පාඩම් කරද්දී රාත්‍රී කාලයේ තමාගේ තනියට නිදි වරාගෙන ළඟ සිටි ආදරණීය තාත්තාගේ වියෝගය දරාගත නොහැකිව හඩා වැටෙයි.
අහන දකින කිසිවකුගේ මුවින් වරදක් නොකියවෙන ගුරු පියාණන්ගේ ගුණ කියන සිසු දරුවෝද වැල නොකැඩී නිවසට පැමිණ කඳුළු සලති.
රිය අනතුරින් තුවාල ලබා අතට හිසට සිදු වූ බරපතළ තුවාලද සහිතව සිය සැමියාගේ අවසන් මොහොතට පැමිණ සිටි ගුරු මෑණියන්ගෙන් අනතුර සිදු වූ අයුරු අපි විමසුවෙමු.
“අපි කොළඹ ගියේ උත්සවයට අවශ්‍ය තවත් බඩු වගයක් ගන්න. ඉඟුරුකඩේ හන්දියෙන් බයිසිකළේ කොළඹ පැත්තට හරවලා ටික දුරක් යනකොට එකපාරට සද්දයක් ආවා. එතකොටම මාව විසිවෙලා වැටුණා.මට සිහිය තිබුණා. අත් දෙකෙන් මූණෙන් ලේ වෑහෙනවා. අත කැපිලා ලේ ගලනවා දැනුණා. මම ඇස් ඇරලා බලද්දි මහත්තයා ටිකක් දුරකින් බිම වැටිලා හිටියා. මම බඩගාගෙන ඇදිලා එතැනට යනකොටත් මහත්තයාගේ පපුවෙන් ලේ ගලනවා. මං කෑගහලා උදව් ඉල්ලුවා. එවේලෙම ගිලන් රථයකින් අපි දෙන්නා කොළඹ හදිසි අනතුරු වාට්ටුවට ගෙනිච්චා. ඊට පස්සෙ මගේ අතට ඔපරේෂන් එකක් කරන්න තියටර් එකට අරන් තිබුණා. සිහිය ආවට පස්සේ මං මාව බලන්න එන කාටත් කිව්වා මට අමාරු නෑ මගේ මහත්තයා ගැන බලලා ඇවිත් මට කියන්න කියලා.කව්රුත් විස්තර කීවේ නෑ. අද උදේ රෝහලෙන් මාව ටිකට් කැපුවට පස්සෙ ගෙදර එන්න සූදානම් වුණාමයි මගේ මහත්තයා දුවයි මායි තනිකරලා යන්න ගිය බව. මගේ මහත්තයාට අපේ පවුලට හිටියේ එක දුව වුණාට මහත්තයාට නම් දරුවො කැලක් හිටියා.එයා හුණුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයේ හැම දරුවෙක්ගෙම තාත්තා වුණා.
සහෝදර ආචාර්ය මණ්ඩලය, මව්පියන්, දරුවන් හැමෝම මානසිකව වැටිලා කම්පාවට පත් වෙලා ඉන්නේ.මේ වගේ රටට වැඩදායී අප්‍රමාණ සේවයක් කරපු විදුහල්පතිවරයකුගේ නික්මයාෑමෙන් අපි ජීවිත කාලෙම අසරණ වුණා” යැයි ඇය හැඬූ කඳුළින් පැවසුවාය.
කිරිබත්ගොඩ විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනියක් වන ප්‍රියංගනී ධර්මපාල මහත්මිය පැවසුවේ සමරරත්න විදුහල්පතිවරයා ගැන පොතක් පුරවලා ලියන්න තරම් දේවල් ඇති බවයි.
ඇය පැවසූ සංවේදී කතාව අනාගත ගුරු විදුහල්පති සැමටත් අධ්‍යාපන බලධාරීන්ටත් ප්‍රයෝජනවත් බැවින් එය මෙලෙස සටහන් තබනුයේ සැබැවින්ම රටේ දරුපරපුර බුද්ධිමතුන් කිරීමට වෙරදරන ගුරුවරුන්ගේ ජීවිතවල සැඟවුණු කතාවක්ද ඇති බව මේ කතාවේ ගැබ්ව ඇති හෙයිනි.
“ඇත්තටම කිව්වොත් සමරරත්න විදුහල්පතිතුමා ඒ ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක්. අද එතුමා මාරක රිය අනතුරකින් මහපාරේ අවසන් ගමන් ගියේ එතුමාගේ රෝද දෙකේ යතුරුපැදියෙන් පාසලේ දරුවන්ගේ කලා උත්සවයට අවශ්‍ය කළමනා ගේන්න කොළඹ ගිහිල්ලයි. හිතන්න පොඩ්ඩක් ඒ ශ්‍රේණියේ විදුහල්පතිවරයකුට වෙනත් මාර්ගයකින් ප්‍රවාහන පහසුකම් තිබුණා නම් යතුරුපැදියෙන් මේ ගමන යන්නේ නැහැනේ.
“අද අපේ රටේ විදුහල්පති භූමිකාවේ නියැළෙන පිරිස මුහුණ දෙන ගැටලු අතරින් එකක් තමයි ඒ. අඩුම තරමින් පාසලේ කටයුතුවලට ත්‍රිරෝද රථයක් හරි තිබුණා නම් එතුමා යතුරුපැදියෙන් බඩු ගේන්න යන්නෙ නැහැ. සමරෙ විදුහල්පතිතුමා නැති අඩුව සමස්ත කැලණි කලාපයේම ගුරු විදුහල්පති වරුන්ට කාලාන්තරයක්ම දැනේවී” යැයි ප්‍රියංගනී ධර්මපාල මහත්මිය පැවසුවාය.
සමරරත්න විදුහල්පතිවරයා එඬේරමුල්ලේ පදිංචිව සිටියද එය ඔහුගේ දයාබර බිරියගේ ගම්පියස වන බවත්, දකුණු පළාතේ වලස්මුල්ල ප්‍රදේශයේ උපන් ඔහු රුහුණු පුතකු බවත් ඔහුගේ නැඟණිය හැඬූ කඳුළින් පැවසුවාය.
මියගිය විදුහල්පතිවරයාගේ අවසන් කටයුතු එඬේරමුල්ල පොදු සුසාන භූමියේදී හෙට (18) සවස 5.00ට සිදු කෙරෙන අතර, එදින සවස 3.30ට ඔහු අවසන් වරට සේවය කළ හුනුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, සිසුදරුවන් සහ මවුපියන්ට අවසන් ගෞරව දැක්වීමට දේහය මඳ වේලාවක් විදුහලේ තැන්පත් කෙරෙන බවද අවමංගල කමිටුව පැවසීය.