Saturday, May 10, 2025
Home » වරාය අධිකාරියේ හිටපු සභාපතිවරුන් දෙ‍ෙදනකුට අධිචෝදනා භාර දෙයි

වරාය අධිකාරියේ හිටපු සභාපතිවරුන් දෙ‍ෙදනකුට අධිචෝදනා භාර දෙයි

by mahesh
November 17, 2023 1:00 am 0 comment

චන්දන ජයවීර

වරාය අධිකාරියේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ කපිතාන් නිහාල් කැප්පෙටිපොළ ඇතුළු තිදෙනකුට එරෙහිව පනවා ඇති අල්ලස් හෝ දූෂණ නඩුවේ අධිචෝදනා භාර දීම කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ ඊයේ (16) සිදු විය. 2014 වසරේ සැප්තැම්බර් 30දා සිට 2015 වසරේ ජනවාරි 07දා දක්වා කාලය තුළ වරාය අධිකාරියේ නිලධාරීන් ලෙස කටයුතු කරමින් ආයතනයට හිතාමතාම අයුතු පාඩු කිරීම ඇතුළු චෝදනා 10ක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත.

2015 ජනාධිපතිවරණය අවස්ථාවේ වරාය අධිකාරියේ සේවකයන් 319 දෙනකු ප්‍රචාරක කටයුතුවල යොදවා වැටුප් හා අතිකාල දීමනා ලෙස හය කෝටි පනස් ලක්ෂ අටදහස් එකසිය තුනක් ගෙවීම මඟින් අධිකාරියට පාඩු සිදුකිරීමේ වරදට නඩු පැවරීම සිදු කර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ) සහ 102 යන වගන්ති යටතේ සහ අල්ලස් හෝ දූෂණ පනතේ 1994 අංක 20, 2018 අංක 22 දරන පනත් යටතේ මෙම නඩු පැවරීම සිදුකර ඇත. සාක්ෂිකරුවන් 90ක් හා නඩු 17ක් පැමිණිල්ල විසින් ගොනුකර ඇත. නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව අධිකරණය නිෂ්ප්‍රභ කරන ලදි. විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ගෙන ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම විය. මීලඟ නඩු දිනය දෙසැම්බර් 08 දාට කල් තැබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT