බර කිරීමට ගන්නා දුනු තරාදියක් යොදාගෙන ව්‍යායාම කරමින් සිටි තරුණයකු දුනු තරාදිය සවිකර තිබූ දුන්න පැන එය ගෙලට වැදී කැපී යාමෙන් දරුණු තුවාල සිදුව මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම අනුරාධපුර මාර්ගයේ පදිංචි ක්‍රිෂාන්තන් මෝසස් නමැති 33 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මෙම තරුණයාගේ පියා ප්‍රධාන මහා මාර්ග ඉංජිනේරුවරයකු වන අතර ඔහු කිසියම් කටයුත්තක් සඳහා පිටත්ව යාම හේතුවෙන් පියාගේ බාල සොහොයුරාගේ නිවසේ රඳවා ගොස් සිටියදී මෙම හදිසි අනතුරට ලක්වී ඇති බව කියයි.
මරණයට පත් තරුණයා කිසියම් රෝගී තත්ත්වයකින් පෙළී සිට ඇති බවත් ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටි බවත් කියයි.
පියා විසින් තම පුතු බාල සොහොයුරාගේ නිවසේ (බාප්පාගේ) රඳවා ගියද තරුණයා දිය නෑමට සඳහා සැරසී ඉන් පසුව බර කිරීමට යොදා ගන්නා කුඩා දුනු තරාදිය දෑතින් වෙර යොදා අදිමින් ව්‍යායාම කර ඇති බවත් එකවර මෙම දුනු තරාදියේ දුන්න පැන තරුණයාගෙ ගෙලෙහි වැදී කැපී බිම වැටී සිටියදී ඥාතින් දැක ඇති බව කියයි.
පසුව ඥාතීන් විසින් කඩිනමින් මෙම තරුණයා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබුණද ඒ වන විටත් මරණයට පත්ව සිටි බව පුත්තලම මූලික රෝහල් බලධාරියෙක් පැවසීය.
පසුව මෙම තරුණයාගේ මරණය සිදුවූ බව කියන ස්ථානය පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබුණි.
අදාළ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පුත්තලම මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ නිලධාරී විශේෂඥ වෛද්‍ය නිලධාරී කේ.පී.එස්. බණ්ඩාර මහතා සමඟ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කුලෙන්ද්‍රනාත් ප්‍රේමදාස මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී බෙල්ලට සිදුවූ දරුණු තුවාල හේතුවෙන් ඇතිවූ සංකූලතාවයක් නිසා මෙම මරණය සිදුව ඇති බවට නිගමනය කර තිබුණි.