Home » හවස උපන්දින කේක් කපන්න බලාගෙන පාසල් ගිය පුංචි සෙහන්සානෑසියන්ගේ කර මතින් ගෙදර එයි

හවස උපන්දින කේක් කපන්න බලාගෙන පාසල් ගිය පුංචි සෙහන්සානෑසියන්ගේ කර මතින් ගෙදර එයි

අන්තිමේ මට ඔයා කිවුව විදියට එන්න වුණා හැබැයි කේක් කපන්න නෙමෙයි දුවේ - සවුදියේ සිට පැමිණි මව හඬා වැලපෙයි

by mahesh
November 17, 2023 1:00 am 0 comment

මුල්ලේරියාව - සිරිසේන ගමගේ, කටුනායක - ටී.කේ.ජී. කපිල

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ලක්ෂ දෙකක ආධාරයක් පිරිනමයි

වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ අක්‍රමවත් ලෙස ඉදි කර තිබූ ජල කරාම සහිත බැම්මක් පෙරළී එයට යටව අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සෙහන්සා නෙත්සරණි කෝදාගොඩ දැරියගේ දේහය ඊයේ (16) වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ලේ පිහිටි ඇයගේ නිවෙස වෙත රැගෙන එනු ලැබීය. ඇය ඉගෙනුම ලැබූ පන්තියේ යහළු යෙහෙළියන්, ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් ඒ ශෝකජනක අවස්ථාවේ එහි පැමිණ සිටියහ.

සෙහන්සා දැරියගේ මව වන නිරෝෂා සමන්මලී මහත්මියද ඇය සේවය කරමින් සිටි සවුදියේ සිට ඊයේ සවස නිවෙස වෙත පැමිණියේ හඬාවැටෙමිනි.

නිරෝෂා සමන්මලී මෙලෙස අදහස් දැක්වූවාය:

“⁣එදා දුවගෙ උපන්දිනේ. මං කතා කරලා ඇහුවා මොනවද ඕනේ කියලා. එයා කිවුවා කේක් ඕනෑ කියලා. මම කිවුවා ‘මට එන්න තව මාස තුනක් තියෙනවා, ඒ එනකොට කෙක් අරන් එන්නම් කියලා. අනේ මගේ රත්තරං දුවේ…, අන්තිමේ මට ඔයා කිවුව විදියට එන්න වුණා. හැබැයි කේක් කපන්න නෙමෙයි දුවේ, ඔයාගෙ මිනිය බලන්නයි දෙයියනේ…! අම්මා කෙනෙකුට මේවා දකින්න පුළුවන්ද…? කොහොමද මම ඉවසගෙන ඉන්නේ…”

ඇය හඬා වැටෙමින් පැවසුවාය.

“මම හිටපු සවුදියේ ගෙදර අය හැමදාම දුව එවන වීඩියෝ බලලා එයාව හොඳට අඳුනනවා. එයාට හරි ආදරෙයි. දුව නැති වුණා කිවුවම ඒ අය හරියට කම්පා වෙලා මට කිවුවා ‘ඔයා දැන්මම යන්න, ගිහින් මාස තුනක් ඉඳලා ආයෙ එන්න කියලා’ මට ටිකට් එකත් අරන් දීලා, රත්තරන් බඩුයි සල්ලියිත් දුන්නා. මටයි දුවටයි ඒ ගෙදර අය හරි ආදරෙයි. අපට හොඳ අනාගතයක් ගොඩනඟාගන්න තිබුණා මගෙ රත්තරං දුවත් හිටියනං. මං රට ගියේ මගේ දරුවො තුන්දෙනාගෙ අනාගතය හදාගන්න, ඉන්න ගෙයක් හදාගන්න. දැන් මට ඉන්නෙ පුතාල දෙන්නා විතරයි. අනේ අපට ගෙයක් හදාගන්න උදවු කරන්න” ඇය වැලපෙමින් පැවසුවාය.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මහජන ආධාරයක් ලෙස පිරිනමන ලද ලක්ෂ දෙකක මුදලක් සංස්කෘතික නිලධාරි දිලිප් අලුත්වත්ත මහතා විසින් මිය ගිය දැරියගේ පියා වන චමින්ද කොදාගොඩ මහතා සහ මව වෙත පිරිනැමීමද මෙහිදී සිදු විණි.

සෙහන්සා නෙත්සරණි දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (18) සවස කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

 

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පිරිනැමූ ආධාර මුදල මවුපියන්ට භාර දුන් අවස්ථාව

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පිරිනැමූ ආධාර මුදල මවුපියන්ට භාර දුන් අවස්ථාව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT