අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා සිටින හරක් කටා ඉන් පන්නවා ගැනීමට එහි සිටින නිලධාරීන් මත් කිරීමට විෂ ද්‍රව්‍ය යොදා කිරි ටොෆි සකස් කර දුන්නේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයාගේ මව මෙම 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16) නියෝග කළේය.
වික්‍රමරත්න කසුන් චින්තක නොහොත් හරක් කටා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටින අතර, පොලිස් කොස්තාපල්ගේ මව ද රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබිණි. ප්‍රශ්න කිරීම අවසන් කළ බව කියමින් ඇය අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ත්‍රිකුණාමලය සේරුනුවර පදිංචි මල්මදයලාගේ රංජනී සිරියලතා නමැති කාන්තාවකි.
හරක් කටා රහස් පොලිසියෙන් මුදා ගැනීමට සැලසුම් කළ බව කියන මුදියන්සේලාගේ රවිඳු සන්දීප ගුණසේකර නමැති පොලිස් කොස්තාපල්වරයාට පැන්නීමේ සැලසුම දියත් කළ දින මත් කිරිටොෆි සකස් කර දී ඇත්තේ මෙම කාන්තාව බවත් ඇය සහ අමිල සංජීව යන අය සමඟ මෙහෙයුම දියත් කළ දිනට පෙර දින කොළඹට පැමිණ ඇති බව විමර්ශන අනාවරණය කළ බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේය.
සැකකාර කාන්තාව වරින් වර සැකකාර පොලිස් කොස්තාපල්වරයා හරහා හරක් කටාට විවිධ කෑම වර්ග සකස් කර එවා ඇති බවත් හරක් කටා විසින් ඇයට සැකකාර පොලිස් කොස්තාපල්වරයා හරහා මිල අධික ජංගම දුරකතන දෙකක්, ලැප්ටොප් යන්ත්‍රයක් එවා ඇති බවත් පොලිසිය කියා සිටියේය.
සැකකාරියට රුපියල් ලක්ෂ 20ට අධික මුදලක් අමිල සංජීව යන අය මාර්ගයෙන් ලබා දී ඇති බවත් සැකකාර පොලිස් නිලධාරියා හරහා රුපියල් ලක්ෂ 11ක් ලබා දී ඇති බවත් විමර්ශන අනාවරණය කර ඇති බව කී පොලිසිය ඇපල් දුරකතනය අමිල සංජීව යන අය විසින් විකුණා ඇති බවත් අනෙකුත් භාණ්ඩ ද බැහැර කර ඇති බවත් විමර්ශනවලින් අනාවරණය කළ බව පොලිසිය අධිකරණයට කියා සිටියේය. සැකකාර පොලිස් නිලධාරියා පැන යන අවස්ථාවේදී සැකකාර මව සමඟ දුරකතන සබඳතා පවත්වා ඇති බවත් පොලිසිය කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකාර පොලිස් නිලධාරියාගේ මස්සිනාගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් කී පොලිසිය සැකකාරිය සකස් කළ බවට සැකකරන කිරිටොෆිවල ඇත්තේ කුමන විෂ ද්‍රව්‍යයක් දැයි පරීක්ෂා කිරීමට රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර ඇති බවත් කියා සිටියේය.
හරක් කටා පැන්නීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ දින එම මෙහෙයුම අසාර්ථක වීම හේතුවෙන් ඔහු සහ සැකකාර පොලිස් නිලධාරියා පැන යෑමට ගෙන්වා තිබූ වාහනයෙන් පොලිස් නිලධාරියා පැනගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිසිය කියා සිටියේය.
එදින සැකකාර පොලිස් නිලධාරියා ඔහු සහ හරක් කටා පැන යෑමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමට තමාගේ පෙම්වතිය දුන් බව කියමින් මත් කිරිටොෆි දී ඇති බවත් එම කිරිටොෆිවල තිත්ත රසක් හේතුවෙන් ඇතැම් නිලධාරින් ආහාරයට ගෙන නැති බවත් ඔවුන්, මත්ද්‍රව්‍ය යොදා පොලිස් නිලධාරියා සකස් කළ කිරිතේ පානය කර ඇති බවත් පොලිසිය කියා සිටියේය. රජයේ රස පරීක්ෂකවරයාට අදාළ සාම්පල යොමු කර ඇති අතර, එදින හරක් කටා සමඟ පොලිස් නිලධාරින් පොරබැදීමෙන් වීමට ගිය අනතුරුක් වළක්වා ගැනීමට හැකි වූ බවත් එම සිද්ධියෙන් එක් ගිනිඅවියකට අලාභ හානි වී ඇති බවත් පොලිසිය වැඩිදුර වාර්තාවක් යොමු කරමින් කියා සිටියේය.
තවත් පුද්ගලයන් කිහිප දෙනකුගේ ගිණුම් පරීක්ෂා කරමින් සිටින අතර සීසීටීවී දර්ශන පරීක්ෂා කර ඇති බවත් ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
තම සේවාදායිකාව අසනීප තත්ත්වයකින් පසුවන බවත් පොලිසිය භාරයේ සිටියදීම ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමු කර වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවත් සැකකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ තිළිණ වීරසිංහ මහතා අධිකරණයට දන්වා සිටි අතර, සුදුසු ඇපයක් මත ඇය මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. මේ අවස්ථවේ විමර්ශන සිදු කරන බැවින් ඇප ලබා දිය නොහැකි බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.