ත්‍රිරෝද රථ රියැදුරෙකුගේ බඩට සහ පපුවට පිහියකින් ඇන රථය කොල්ලකා ඇති බවට ලද පැමිණිල්ලක් මත පින්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පහරකෑමට ලක් වූ ත්‍රිරෝද රථ රියැදුරුගේ පවුලේ සාමාජිකයින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.
වාද්දුව, තල්පිටිය, ලෝලුගස්මංකඩ හන්දියේ දී පෙරේදා (15) රාත්‍රි එක් පුද්ගලයකු ත්‍රිරෝද රථයට ගොඩ වී කුලී ගමනක් යාමට කතිකා කරගෙන ඇති අතර, අතරමඟදී තවත් පුද්ගලයන් දෙදෙනකු එයට ගොඩ වී ඇති බව සඳහන් වේ.
රථය පින්වත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ දී ත්‍රිරෝද රථ රියැදුරුට රථයෙන් බැස යන ලෙස අණ කර ඇති අතර, එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එක් අයෙක් ඉණේ සඟවාගෙන සිටි පිහියක් ගෙන ත්‍රිරෝද රථ රියැදුරුගේ උදරයට සහ පපුවට පිහියෙන් ඇන රථය කොල්ලකා පලාගොස් ඇති බව සඳහන් වේ.
පහරකෑමට ලක් වූ ත්‍රිරෝද රථ රියැදුරු පාණදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.