කුරුණෑගල වැහැර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතනයක (ස්පා) සේවය කරන අවුරුදු 24ක විවාහක කාන්තාවක් පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
කුඩා මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු සම්බාහන ආයතනයේ සේවය කරමින් සිටියදී තම බිරිය පැහැරගෙන ගොස් ඇති බවට පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිලිකාර සැමියාද මැල්සිරිපුර නගරයේ පවත්වාගෙන යන සම්බාහන ආයතනයක කළමනාකරු ලෙස සේවය කරන අයෙකි. පැහැරගැනීමට සම්බන්ධ බව කියන මෝටර් රථය මහව ප්‍රදේශය ආශ්‍රිතව සැරිසරන බවට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු මහව නගර මධ්‍යයේදීම පැහැරගෙන ගිය බව කියන කාන්තාව සමඟ පුද්ගලයන් තිදෙනෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. කාන්තාව පොලිස් නිලධාරීන් හට පවසා තිබුණේ එම පුද්ගලයන් තමන් පැහැරගෙන ගොස් මහව ප්‍රදේශයේ ලැගුම්හලක රඳවාගෙන රාත්‍රියේදී එක් පුද්ගලයෙකු දෙවරක් බැගින් තමාව දූෂණය කළ බවය. නමුත් එම කාන්තාව එසේ පැවසුවද අත්අඩංගුවට ගැනීමට පෙර මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී ඇය බියපත් මුහුණකින් තොරව සැකකරුවන් සමඟ සිනහසෙමින් සිටින ආකාරය පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව ද කියයි. කෙසේ වුවද එම කාන්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කුරුණෑගල සහ බළංගොඩ පදිංචිකරුවන් බව කියයි. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහත්වරුන්ගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කරති.