පවුලේ අයගේ ඉල්ලීම මත රත්නපුර මලංගම ප්‍රදේශයේදී මාස හතරකට පෙර සිදු වූ ගැටුමක් අතරතුර මියගිය අයකුගේ මෘත දේහය අධිකරණ නියෝග මත ගොඩ ගැනේ.
මීට මාස හතරකට ආසන්න දිනකදී එනම් 2023.07.22 දින පස්වරු 7.30ට පමණ රත්නපුර පොලිස් බලප්‍රදේශයට අයත් මලංගමදී දෙපිරිසක් අතර සිදුවුණු ආරවුලක් අතරතුර මියගිය සී. නිහාල් නමැති අයගේ මරණය සැක සහිත බවට ඔහුගේ පවුලේ දරුවන් ඇතුළු ඥාතීන් කළ ඉල්ලීමකට අනුව මිය ගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ටී.එම්. ජනක සුමේධ මහතා විසින් රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතාගෙන් කළ ඉල්ලීමක් සලකා බලා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත එම දේහය ඊයේ (16) ගොඩ ගැණිනි.
මලංගම ප්‍රදේශයේම පදිංචි දෙපිරිසක් අතර සිදු වූ කතාබහක් දුරදිග යාමෙන් මෙම ආරවුල සිදුව ඇති අතර, මරණකරුගේ පුතුන් දෙදෙනාට අනෙක් පාර්ශ්වය විසින් සිදුකළ දරුණු පහර දීම් අතරතුර එම ස්ථානයට පැමිණි ඔහු මිය ගොස් ඇත. මෙම මරණය පිළිබඳව මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරී මුදිත කුඩාගම මහතා විසින් සිදුකර තිබූ අතර මරණ පරීක්ෂණයේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ මෙම ගැටුම අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි. පසුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පොලිසිය හමුවේ මියගිය අය හදිසි කම්පන තත්ත්වයක් හේතුවෙන් වුව ද මිය යා හැකි බවට ප්‍රකාශ කර තිබූ හෙයින් මෙම මරණය සිදුව ඇති ආකාරය නැවතත් වෛද්‍ය මණ්ඩලයක් විසින් පරීක්ෂා කොට වාර්තාවක් ලබා දීමට කටයුතු කරන මෙන් නීතිඥ ටී.එම්. ජනක ප්‍රසාද් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව මෙම මෘත දේහය ගොඩ ගැනීම සිදුවිය.